හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා අභිනන්දන හරසර ප්රණාම උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
අසමසම නිසග ප්‍රතිභාව හා නිර්මාණ අභ්‍යාස නියුක්තිය ප්‍රවර්ධනය කර තාරකා එළියෙන් දිදුලන සිනමා නිම්නය සිය නිරූපණ කෞශල්‍යයෙන් ප්රභාවත් කළ සහ තමන්ට අනන්‍ය වූ සුවිශිෂ්ට රංගන කලාවක නිරතවෙමින් සිංහල සිනමාවට සුවිශේෂී සේවාවක් ඉටු කළ මහා සිනමා නිළි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ අඩ සිය වසක උත්කෘෂ්ට කලා මෙහෙවර අගයනු වස් ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම මගින් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබුණි.
මාලනී ෆොන්සේකා මහත්මිය වෙත උපහාර තිළිණ සහ මුදල් ත්‍යාගය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
අභිනන්දන උලෙළේ සමරු දෙසුම සුප්‍රකට ඉන්දීය චිත්‍රපට විචාරිකා සෝමා චැටර්ජි මහත්මිය විසින් සිදු කරනු ලැබූ අතර, විශේෂ දේශනය ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගම මහතා විසින් සිදු කරන ලදී.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ද අර්ජුන රණතුංග, ලසන්ත අලගියවන්න, බන්දුල ගුණවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.