මගේ පිකාසෝ (Life with Picasso ) නම් කෘතිය ගැනයි අද සටහන. මේ පොත ලියන්නේ පිකාසෝ නම් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියා ගේ පෙම්වතියක වන ප්රංශුවා ගිලෝ. 1964දී ඇමරිකාවේදී කාල්ටන් ලේක් ගේ සම කතෘත්වයෙන් මේ අපූරු කෘතිය ප්‍රකාශයට පත් වෙනවා. පිකාසෝ නම් අසාමාන්‍ය පුරුෂයා ගේ ජීවිතය ඔහුගේ චිත්‍ර තරමටම අසාමාන්‍ය ශෛලියකින් යුක්ත බව ඉතාම ප්‍රසිද්ධ කාරණයක්. 1887 ඔක්තෝබර් 25වනදා ස්පාඤ්ඤයේ මලගා නුවර උපන් පැබ්ලෝ පිකාසෝ භාවිත කළේ සිය මවගේ නමයි.ස්පාඤ්ඤ සම්ප්රදාය අනුව පිකාසෝ ට ඉතා දීර්ඝ නමක් ඔහුගේ මව්පියන් විසින් දී තිබෙනවා.
” පැබ්ලො දියෙගො හොසේ ෆ්රැන්සිස්කෝ දෙ පෝලා ජුවාන් නෙපොමුසෙනෝ මාරියා දෙ ලොස් රෙමෙඩියොස් සිප්රියානෝ දෙ ලා සැන්ටිසිමෝ ට්‍රිනිඩැඩ් රුයිස් යි පිකාසෝ”.
ඔහු මළ දරුවකු ලෙස ඉපදුණත් ඒ මොහොතේ පැමිණ සිටි ඔහුගේ ඥාතියෙකු බිළිඳා ගේ මුවට සුරුට්ටු දුම් පිම්බ විට ඔහු හඬන්නට වූ බව සඳහන් වෙනවා. වයස අවුරුදු පහළොවේදී සිය ප්‍රථම චිත්‍රය අඳින පිකාසෝ නිල් යුගය,රෝස යුගය ,දුඹුරු යුගය (ඝනික ශෛලිය ඇරඹි යුගය), ආලේඛනය,මූර්ති,මුද්‍රණය,මැටි භාණ්ඩ කලාව ආදී විවිධ පැතිකඩ ඔස්සේ සියවසේ විශිෂ්ටතම සිත්තරා බවට පත්වන්නේ ඔහු ගේ අසාමාන්‍ය පරිකල්පනය හේතුවන්. සමාජයට පරිහානිය කැඳවන කලාකරුවන් ලෙස හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ලැයිස්තුගත කරන ලද කලාකරුවන් අතර පිකාසෝ ගේ නම මුලින් ම සදහන් වෙනවා.
නමුත් ගෙස්ටපෝ මෘගයන් ට ඔහු ගේ නිර්මාණවලට හානි කිරීමට තරම් එඩියක් නොවූ බව ලෝක යුධ සමයේ පිකාසෝ ගේ චිත්රවල තත්ත්වය දෙස බැලීමෙන් ම පෙනී යනවා. මව, බාල සොයුරියන් දෙපළ හා නැන්දනියන් දෙදෙනෙකු ගේ ආදරය මැද ළමා අවදිය ගෙවූ පිකාසෝ කාන්තාවන් සිය අණසක යටතේ තබා ගැනීමේ අති දක්ෂයෙක් බව සදහන් වෙනවා. තමන් ගේ ජීවිත කාලය තුළ ඔහු කාන්තාවන් බොහෝමයක් ඇසුරු කළ අතර ඉන් බොහොමයක් ඔහුගේ නිරූපිකාවක ලෙස චිත්‍ර හා මූර්ති නිර්මාණවලට දායක වූ තරුණියන්..
පිකාසෝ ගේ පෙම්වතියෝ
========================
1) ෆර්නැන්ඩේ ඔලීවියේ (චිත්‍ර ශිල්පිනියකි, වසර 07ක සම්බන්ධයකි)
2) ඔල්ගා කොක්ලෝවා (ප්‍රථම බිරිඳ වසර 11ක විවාහයකි )
3) මාරි තෙරේස් වෝල්ටර් ( පිකාසෝ ගේ ලාබාලම පෙම්වතියයි,මුණ ගැසෙන විට වයස 17කි)(පිකාසෝ මිය ගොස් සිව් වසරකට පසු දිවි නසා ගත්තා ය).
4) ඩෝරා මාර් ( සුප්‍රකට ගුවර්නිකා චිත්‍රය කොටසෙන් කොටස ඡායාරූපගත කළ ඇය ඡායාරූප හා චිත්‍ර ශිල්පිනියකි)
5) ප්රංශුවා ගිලෝ (පිකාසෝට වඩා වසර 40ක් බාල ය.)
6) ජෙනෙවියව් ලැපෝර්ටේ (පාසල් සිසුවියකි. ප්රංශුවා සමග දිවි ගෙවන අතරම පවත්වාගෙන ගිය රහස් සබඳතාවකි)
7) ජැකලින් රෝක් (අවසන් පෙම්වතියයි.පසුකලෙක ඇයව විවාහ කර ගත්තේ ය.මියෙනතුරු ඇය සමග ජීවත් විය.
පිකාසෝ ගේ පෙම්වතියන් බහුතරයක් මානසික රෝගයකින් පෙළුණු හෝ දිවි නසා ගත් අය වීම කැපී පෙනෙන කරුණක්. කෙසේ වුවත් පිකාසෝ ගේ සිතුවම් , මූර්ති , පිගන් මැටි නිර්මාණ, රේඛා චිත්‍ර හා වෙනත් කලා නිර්මාණ සියල්ල ගත් විට එය ගණනින් 50,000 ඉක්මවනවා. 1937 දී නිර්මාණය කළ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ දී සිදු වූ මිනිස්, සත්ව හා දේපළ විනාශය නිරූපණය වූ “ගුවර්නිකා” චිත්‍රය ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වෙනවා. එසේම 1951 ඇඳි “කොරියාවේ සංහාරය” ද තවත් එවැනි ම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.
අද වන විට පිකාසෝ ගේ චිත්‍ර ලෝකයේ ඉහළම මිළකට අලෙවි වන චිත්‍ර බවට පත්ව ඇති අතරම 1973 අප්‍රේල් 8 වනදා පිකාසෝ මිය යන තුරු ම සහ පිකාසෝ ගේ නික්ම යෑමත් සමගම ඔහුට සම කළ හැකි හෝ ඒ හිඩැස පිරවිය හැකි චිත්‍ර ශිල්පියෙක් තවමත් බිහි වී නොමැති බව කිව යුතුයි….
පැබ්ලෝ පිකාසෝ ඔහු ඇසුරු කළ ස්ත්‍රීන් අතුරින් දෙදෙනෙකු සමග පමණක් විවාහ වෙනවා. එසේම අනෙකුත් පෙම්වතියන් වගේ ම විවාහක බිරින්දෑවරුන් දෙදෙනාව ද ඔහු අතහැර දමන්නේ කලක් ඇසුරු කිරීමෙන් පසුවයි. ඒ අතරින් පිකාසෝ ගේ පෙම්වතියන් සියල්ලන්ගෙන් ම පිකාසෝ ව අතහැර ඉවත යන එකම ස්ත්‍රිය වන්නේ ප්රංශුවා ගිලෝ වීම සුවිශේෂී කාරණයක්.
චිත්‍ර ශිල්පිනියක වන ප්රංශුවා, පිකාසෝ සමග වසර දහයක් අඹු සැමියන් ලෙස දිවි ගෙවනවා. අවසානයේ ඔහුගෙන් ලද දරුවන් දෙදෙනා ද සමඟ ඔහුගෙන් ඉවත්ව යන ඇය පසුකාලීනව සිය උසස් අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව නිම කරනවා. ඒ ප්‍රංශයේ පැරිස් සරසවියෙන් සහ සෝබෝන් සරසවියෙන්. ආචාර්ය උපාධිය ද ලබා ගත් පසු ඈ ප්‍රංශයේ සහ ඇමරිකාවේ වරින් වර දිවි ගෙවන අතර ම ඇමරිකානු විශ්ව විද්‍යාල කිහිපයකම චිත්‍ර කලා විෂය ඉගැන්වීමේ කාර්යයෙහි ද නියැළෙන්නට සමත් වෙනවා.
පිකාසෝ නම් ප්‍රේමවන්තයා ගේ ආදරය, විරහව , දුක , සතුට , පළිගැනීම , ප්‍රතිභාව මෙන් ම මානුෂිකත්වය පිළිබද ඔහුව හැර ගිය එකම කාන්තාව ලියූ, මාලිනි ගෝවින්නගේ විසින් සිංහලයට පරිවර්තනය කළ “මගේ පිකාසෝ”කෘතිය කියවන්න විදින්න ඔබටත් ආරාධනා කරනවා.
– සුපුන් භාග්‍යා වීරකෝන් –