fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 08:45

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය සමරයි

ඉස්ලාමීය ආගමික ඉතිහාසයට අනුව මුස්ලිම් ජනතාව උතුම් කොට සලකන ඊදුල් අද්හා හජ් උත්සවය අදට යෙදී තිබෙනවා.ලොව පුරා මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන හජ් උත්සවය අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරනු වස් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරන උත්සවයකි.

මේ අතර හජ් වන්දනාව වනාහී දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය හජ් සුබපැතුම් පණිවිඩයෙන් කියා සිටී.

එම සුබ පැතුම් පණිවුඩය පහත දැක්වේ.

ලොව ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණකින් බැඳී, එක ම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය උත්කර්ෂයට නංවන හජ් උත්සවය වූකලි සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උළෙලකි.

මානව ඉතිහාසයේ පවා මිනිසුන් සාමූහිකව ඒකරාශී වූයේ ආගමික පූජා කර්ම උදෙසා ය. ස්වකීය ආගම හා බැඳුණු වත් පිළිවෙත් සුරැකීම මෙන් ම ඔවුනොවුන් අතර සහසම්බන්ධය ද එදා මෙදා පූජෝත්සව මඟින් වර්ධනය විණි.

හජ් වන්දනාව වනාහි දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය වූ බන්ධනය විචිත්‍රාකාරයෙන් දනවන්නකි. ජාතිකත්වයේ හෝ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු බැතිමතුන් එක ම නොබෙදුණු මිනිස් ප්‍රජාවක් ලෙස මුසු වී දෙවියන් නමදින මහා ආගමික පූජෝත්සවයක් ලෙස හැඳින්විය හැකි ය.

විවිධ බෙදීම්වලින් එකම මිනිස්වග අවුලින් අවුලට පත් ලොවෙක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ හජ් උත්සවය පුළුල් ආදර්ශයක් සපයයි.

ශුද්ධ වූ මක්කම භූමිය කේන්ද්‍ර කොට ගනිමින් මනුෂ්‍යයන් අතර සාදර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන හජ් වතාවත්හි නියැළෙන මෙරට සියලු ඉස්ලාම් බැතිමතුන්ටත්, ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් උතුම් ඊදුල් – අල් හා උළෙලක් වේවා යි හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි.

බැතිමත් මුස්ලිම් ජනතාව තුළ අල්ලාහ් දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, කැපවීම ශක්තිමත් කරමින්, සහෝදරත්වය සමානාත්මතාව ගොඩනැංවීම උදෙසා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ට ආදර්ශයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හජ් උත්සවය සැමරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අග්‍රමාත්‍යතුමාගේ පණිවුඩය,

හජ් වන්දනාව ඉස්ලාම් දහමේ පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැලකේ. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමතුන් තමන් වෙහෙස මහන්සි වී උපයා ගත් මුදලින් කොටසක් වියදම් කර මක්කම නගරයට ගොස් වන්දනාමාන කිරීමෙන් දෙවියන් වහන්සේ කෙරෙහි තිබෙන්නා වූ විශ්වාසය නැවතත් තහවුරු කිරීම ද මෙහි දී සිදු වේ.

සියලූ භේද දුරලා ලොව නන්දෙසින් පැමිණෙන මුස්ලිම් බැතිමතුන් එකට එක්වී සිදු කරන මෙම වන්දනාව ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකෙන අතර, මෙමගින් සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳව ලෝකයට දෙන පණිවුඩය ඉතා වැදගත්ය. ඉබ්‍රාහිම් නබිතුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම සැමරීම සඳහාද හජ් උළලේ ප්‍රමුඛ තැනක් ලැබේ.

බැතිමත් මුස්ලිම් ජනතාව තුළ අල්ලාහ් දෙවියන් පිළිබඳ පවතින විශ්වාසය, කැපවීම ශක්තිමත් කරමින්, සහෝදරත්වය සමානාත්මතාව ගොඩනැංවීම උදෙසා පරිත්‍යාගශීලී ජීවිතයකට දිරිගන්වන හජ් උත්සවය සමස්ත ලෝකවාසීන්ට ආදර්ශයකි. ඊදුල් අල්හා උත්සවය සමරන්නට සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත් සියලූ මුස්ලිම් බැතිමතුන්ට සාමය සහ සතුට වේවායි හෘදයාංගම සුභාශිංසන.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 08:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්