මැති ඇමතිවරුන්ගේ නම් භාවිත කරමින් විදේශ රැකියා සදහා මුදල් එකතු කරන ජාවාරම්කරුවන් පිළිබද සැළකිලිමත් වන ලෙස විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි පුද්ගලයින් පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙසයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉල්ලා සිටින්නේ.
මෙවැනි වංචනික පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා. මේ අතර රජයේ ප්‍රබල අමාත්‍යවරුන් සමග සබදතා පවතින බව ප්‍රකාශ කරමින් විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මුදල් වංචා කළ පුද්ගලයෙකු අම්පාර වලගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුනු පැමිණිල්ලකට අනුව එම කාර්යාංශයේ නිලධාරීන් වැටලීම සිදු කළා. සැකකරු ළග තිබී බැංකු රිසිට්පත් සහ රැකියා ලබාදෙන බවට විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගත් ලිපි ලේඛන තොගයක් ද හමු වී තිබෙනවා. සැකකරු පිළිබද පැමිණිල්ල සිදුකළ පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 11 ක මුදලක් ලබාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.