විපක්ෂ නායක ධූරය පිළිබද කතානායකවරයා දුන් තීන්දුව සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත කරුණු ප්‍රචාරය කිරීම හෙලාදකින බව කතානායක කාර්යාලය පවසනවා.
කතානායක කරූ ජයසූරිය මහතා විපක්ෂ නායක ධූරය සම්බන්ධව තීන්දුව ගනු ලැබුවේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ සදහා දෙස් විදෙස් විශාරදයින්ගේ අදහස් මෙන්ම අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල සම්ප්‍රදායන් පොදුරාජ්‍ය මණ්ඩලීය හා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්රමිතීන්ද සළකා බැලූ බවත් එම නිවේදනයේ සදහන්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා සහ වර්තමාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පිළිවෙළින් 2015-09-01 දිනැති හා 2018-08-06 දිනැති ලිපි සළකා බැලූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 143 දෙනෙකු අනුමත කළ ස්ථාවර නියෝග හතළිස් හතයි එක විධිවිධාන ඇතුළත් යෝජනාවද මෙම තීරණය ගැනීමේදී උපයෝගී කරගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්. කතානායක කරූ ජයසූරිය මහතා එම ධූරය භාර ගත් දා සිට අද දක්වාම සම්පූර්ණයෙන් දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව කටයුතු කර ඇති අතර කිසිදු බලපෑමකට යටත් නොවූ බවද දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බවද එම ලිපියෙන් අවධාරණය කරනවා. ලෝකයේ අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල් කතානායකවරයා දෙනු ලබන තීරණය පිළිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඊට අවශ්‍ය පියවර ගැනීම සාමාන්‍ය ක්රමවේදයයි. නමුත් එසේ නොකර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙසේ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමත් පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහරදීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරන බව එම නිවේදනයේ තවදුරටත් සදහන් වනවා.