fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිරයට අහුවුණු කිරිමැටි වෙළෙදාම

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 17:05

ගිරයට අහුවුණු කිරිමැටි වෙළෙදාම

කිරිමැටි හෙවත් කෙයොලින්, අපි හැම කෙනෙක්ම දන්න… පිඟන්, පීරිසි කෝප්ප වෙනත් විසිතුරු භාන්ඩ වගේම ‍ඖෂධ වර්ග… දත්බෙහෙත්… ගෙදර දොර භාවිත වෙන වෙනත් දේවල් සඳහා භාවිත කරනවා.

කිරිමැටි හෙවත් කෙයොලින් යනුවෙන් හැඳින්වෙන සුදු පාට, අළු පාට , රෝස පාට යන වර්ණයන්ගෙන් ඇස ගැටෙන මැටි විශේෂය බොහෝ දුරට පවතින්නේ පොළොව යටට වෙන්න නිධි ව‍ශයෙන්.කළුතර දිස්ත්‍රික්කය මුල් කරගෙන මෙම කිරිමැටි වෙළෙදම බහුල වශයෙන් පවතිනවා.  මේ කිරිමැටි ගොඩට අරගෙන අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරදෙන ව්‍යාපාරිකයන්ට වගකීම් කිහිපයක් තිබෙනවා.

මුල්ම එක තමා කිරිමැටි නිධි තියෙන ඉඩම් හිමියන් සමඟ ගිවිසුමකට එලඹීම. එහිදී සිද්ධවෙන්නේ… කිරිමැටි තියෙන ඉඩම් අයිතිකාරයා සමඟ යම් යම් එකඟතා කීපයකට පැමිණීම යි. එනම්… කිරිමැටි කපන ඉඩමට සරිලන ගාණක් කතාකර ගැනීම, පසුව කිරිමැටි කපා අවසන් වූ පසු ඉතිරිවෙන වළ ‍බොරළු යොදා පො‍ළොව මට්ටම තෙක් පුරවා දීමට පොරොන්දු වීම වගේ දේවල්.

ඒ වගේම මේ කිරිමැටි කැපීමට කලින් පතල් හා කැණීම් කාර්ය්‍යංශයෙන් අවසර  ද ගත යුතු වෙනවා. එම අවසර පත්‍රය  ඉදිරිපත් කළ යුත්තේ ග්‍රාම සේවක, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තවත් තැන් කීපයක නිර්දේශ කිරීම් ද සමගිනු යි. පසුව පතල් කාර්ය්‍යං‍ශයේ ඉංජිනේරුවන් පැමිණ අදාළ ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි එම ඉඩමේ කිරිමැටි කැපීමට අවස්ථාව ලැබෙන්නේ.

ස්වාභාවික ඛණිජ ද්‍රව්‍ය අතරින් ලංකාවේ හොඳම කිරිමැටි නිධිය පිහිටීමේ වාසනාව හා අභිමානය කළුතරට හිමිව ඇතත් වසර ගණනාවක් පුරා කිරිමැටි හෑරීම නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව පාරිසරික ගැටලු රැසක් උද්ගතව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

දීර්ඝ කාලයක් තිස්සේ කළුතර ප්‍රදේශ ගණනාවක සිදුවන අවිධිමත් කිරිමැ‍ටි ගොඩගැනීම හේතුවෙන් සරුසාරව පැවති කුඹුරු යායවල සහ පහත් බිම් රාශියක් මේ වන විටත් විනාශ වී අවසන්.  ඒ අනුව සශ්‍රීක කුඹුරු අක්කර බොහෝ ගණනක් මේ වෙද්දී කිසිදු වගාවකට නොගෙන කිරිමැටි හෑරුණු හිස් බිම් බවට පත්ව තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් සිදුකරන අනවසර කිරිමැටි හෑරීම හේතුවෙන් එම ප්‍රදේශවල අක්කර ගණනින් යුතු වළ සෑදී ඇති අතර අවට ප්‍රදේශවල ජල මූලාශ්‍ර ඒ දෙසට ගලාවිත් විශාල වැව් තරම් ජලාශ ද නිර්මාණය වී තිබෙනවා.

මේ ආකාරයට පහත් බිම්වල මීටර් ගණනාවක් ගැඹුරට හාරා පස් ඉවත් කිරීම නිසා අවට උස් බිම් රාශියක ළිංවල ජලය වියැළී ගොස් පහත් බිම්හි ජලය රඳා පවතින පොළොවේ ස්ථරය පහත යාමත් සමඟ උස් බිම් හා ගොඩ ඉඩම්වල භූගත ජලය සිඳීයාමේ තර්ජනයක් මතුවීම හේතුවෙන් ගම්මුන්  පානීය ජල හිඟයෙන් පීඩා විඳින බවටයි වාර්තා වෙන්නේ.

කිරිමැටි කැණීම සඳහා නියමිත ක්‍රමවේදවලට අනුකූලව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් බලපත්‍ර ලබා දී තිබුණ ද ඇතැම්හු සීමාව ඉක්මවා ගොස් අනවසරයෙන් කැණීම් සිදු කරන බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා. ඒ අතර සමහරු වතුර ගලා බසින ඇළ මාර්ගවල ඉවුරු ද කැණීම් සඳහා භාවිත කරන බවට චෝදනා ද නැඟෙනවා. මේ නිසා ජලය ගලා බැසීම අවහිර වී ඇළ මාර්ගවලත් ගැඹුරු ජලාශ නිර්මාණය වී තිබීමද නොරහසක්.

මේ තොරතුරු සොයා යාමේ දී ඇති මාර්ගයේ ගමන් කරනවිට “අන්ත්‍රාවයි ගැඹුරු වළවල් ඇත. ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම්” ලෙස සඳහන් පුවරු සිටුවා තිබෙනු දක්නට ලැබෙනවා. බොහෝ ස්ථානවල අක්කර ගණන් පුරා ජලය පිරුණු ජලාශය. නිලට නිලේ දිලෙමින් ඇති ජලාශවල ගැඹුර නොපෙනෙන තරම් ය. ප්‍රදේශයේ නිවාස පෙනෙන්නට නැතත් හතර වටින් ක්‍රියාත්මක යන්ත්‍ර උපකරණවල ශබ්දය ඇසෙයි. ඒ කිරිමැටි කණින යන්ත්‍රවල හඬයි. කපුහේන, නුගගොඩ, නයිනදූව, පොතුපිටිය, වස්කඩුව ආදී සියලු ප්‍රදේශවල තත්ත්වය මේ ආකාරයි.

ප්‍රදේශයේ ඇතැම් අය පවසන්නේ කිරිමැටි හෑරීම නිසා හානි රැසක් සිදුවන බැවින් මෙම මැටි හෑරීම නැවතීමට නිසි විසදුමක් අවශ්‍ය බවයි.

කිරිමැටි කැපීම තම ජීවන වෘත්තිය කරගත් පුද්ගලයෙක් පැවසුවේ මෙවැන්නක්.

“ අපි පුංචි කාලෙ ඉඳලාම මේ පැත්තේ කිරිමැටි හාරනවා. ඉස්සරනම් අපි උදැල්ල අලවංගුව අරගෙන අත් දෙකින් තමයි හෑරුවේ. දැන් ඒකට මේ බැකෝ තියනවානේ. ඒ නිසා ගොඩකට රස්සා නැති වෙලා.. දැන් ඉන්න මිනිස්සු මෙතන කිරිමැටි හාරනවාට විරුද්ධයි. මෙතන තියෙන්නේ ලංකාවේ හොඳම කිරිමැට්ට. ඒවයෙන් තමා සෙරමික් පිඟන්, කෝප්ප, සනීපාරක්ෂක වැසිකිළි උපකරණ වගේ ගොඩක් දේ හදන්නේ”

“පිටස්තර පුද්ගලයන්ට මේ ප්‍රදේශය පිළිබඳ අවබෝධයක් නැහැ. එක යායට වතුර පිරිලා. පැත්තක නෙළුම් පිපිලා. වතුර නිල් කැටේ වගේ, ගමේ ළමයිට බරක් පතලක් තේරෙන්නෙ නෑ. රංචු ගැහිලා නාන්න එනවා. මල් කඩන්න යනවා. එහෙම ගියපු දරුවෝ හත් අටදෙනෙක් නිරපරාදේ මැරුණා. එයාලා බේරාගන්න ගිය අයත් මඩේ එරිලා මැරුණා. මේවා වහලා දැම්මානම් ඔය අපරාධ වෙන්නේ නෑනෙ”  තවත් අයෙක් පවසනවා.

ඔය වගේ සිද්ධි දාමයකට මුහුණ දෙමින්  තමා කිරිමැටි ව්‍යාපාරිකයන්ට තම කිරිමැටි කැපීමේ කටයුත්ත කරගෙන යන්න ලැබෙන්නේ… ඒ සඳහා විශාල බැකෝ යන්ත්‍රවල සිට කුඩා උදැල්ල දක්වාම ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සේ කෙරෙන්නේ කපලා ගොඩ ගහපු කිරිමැටි, ලොරි රථ භාවිතයෙන් හොරණ, දැල්තර ආදී ප්‍රදේශ ආශ්‍රිතව හා වෙනත් කිරිමැටි ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන කර්මාන්තශාලා වෙත ප්‍රවාහනය කිරීමයි.

ටිපර් රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා අධික  බරක් පටවාගෙන ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග හරහා ගමන් ගන්නා බවත්, එමගින් මාර්ග බොහොමයක් අබලන්ව පවතින බවටත් චෝදනා රැසක් නැඟෙනවා. එමෙන්ම මැටි කැණීමට අවසර ලබාගෙන එම ස්ථානවල මැටි පිළිස්සීම සිදුකරන බවත් එමගින් නැඟෙන දුම් ගම්වාසීන්ට හිරිහැරයක් වී තිබෙන බවට පැමිණිලි ද වාර්තා වී තිබෙනවා.

ඉතිං මේක දේශීය දෙයක්. ඈත අතීතයේ ඉඳන්ම පිටරටවලින් එක එක ජාතියේ පෝසිලේන් භාණ්ඩ ආවා තමා. ඒ වගේම පුරාවිද්‍යා කැණීම්වලින් එක එක රටවල පෝසිලේන් භාන්ඩවල බිඳුන කෑලි හම්බුනාත් තමා… ඒත් අපේ රටේත් අතීතයේ ඉඳන්ම මැටි කර්මාන්තය ආශ්‍රිතව කටයුතු සිද්ධ වුණ බව නම් අපට අමතක කරන්න බැහැ.

ඒ වගේම මේ ප්‍රශ්නය නිසා යහපත් විදියට ව්‍යාපාරය කරගෙන ගිය අයත් මුහුණ දීලා තියෙන්නේ දුක්ඛිත තත්ත්වයකට. හොර ජාවාරම කරන්නේ ලොකු ලොකු කොම්පැනිකාරයෝ… ඒ අය ඇවිදින්… ගමේ ව්‍යාපාරිකයා ගෙවනවට වැඩිය ගාණක් ගෙවලා කිරිමැටි තියෙන වතුවල මිනිස්සුන්ගෙන් ඒ වතු මිලදී ගන්නවා… පස්සේ රටේ ලෝකේ තියෙන ඔක්කොම යන්ත්‍ර සූත්‍ර ගෙනැල්ලා පුළුවන් ඉක්මනට කිරිමැටි ටික හූරා ගෙන යනවා…. එතකොට අර කිරිමැටි හාරපු වලවල්…? ඒවා එහෙමමයි… වැහිකාලෙට වතුර පිරෙනවා, මදුරුවෝ බෝවෙනවා…අර අහිංසක ඉඩම් හිමියට රටෙත් නැති ප්‍රශ්න.

ඉඩම් හිමියන්ගෙත් වැරද්ද තියෙනවා. ඉඩමට ලැබෙන මුදල පමණක් නෙවෙයි ඉන් පස්සේ මතුවන ගැටලු ගැනත් හොඳින් හිතන්න ඕන.ඒ වගේම ලොකු ලොකු මුදල් වියදම් කරන ලොකු කොම්පැනිකාරයින්ට බැරිද තමන් හාරපු වළ වහල යන්න…?

දශක කීපයක් තිස්සේ කිරිමැටි ව්‍යාපාරය පැවතුණ ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය විසින් බලපත්‍ර නිකුත් කිරීම අරඹා ඇත්තේ 1992 වසරේ සිටයි. එය  මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මතයි.ඒ කිරිමැටි කැණීම් සිදුකිරීමෙන් පසුව යළි තිබූ තත්ත්වයට භූමිය පුරවා දැමීමේ එකඟතාවය ද මතයි.

ඇත්තටම කරන්න තියෙන්නේ කිරිමැටි කැපීම නවත්තන එක නෙමේ… ඒක හරියාකාරව කරන විදිය කියලා දීලා… එහෙම නොකරන පුද්ගලයන්ට නිතී මගින් කටයුතු කරන එක. මොකද ඔය කිරිමැටි ටිකෙන් හරි වෙන්නේ ලංකාවේ ධනය පිටරටවලට නොගොස් ලංකාවෙම ඉතුරු වෙන එක නිසා. නැත්තං ඉති ලස්සනට හැඩ දාපු මල් වැල් ඇඳපු ලංකාවේ ලියවැල් තියෙන පිඟන් පීරීසි පිටරටින් ගේන ප්‍රමාණය වැඩි කරන්න වෙයි.

වර්ධනය වන තත්ත්වය වහා පාලනය කිරීම අවශ්‍යයි. ඒ සඳහා වගකිව යුතු ආයතනවල වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව ද අවධාරණය කරන්න ඕන….

 

-ශානිකා රත්නායක-

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 13, 2018 17:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්