දිවි දෙවැනිකොට සුරකින ආදර බැඳීම් බිඳ වැටීමටත්, සමීප සබඳතා දෙදරා යාමටත් පුංචි පුංචි ආරවුල් සහ අඬදබර හේතුවන බව රහසක් නොවෙයි. දෙන්න දෙමහල්ලන්ගෙ අඬදබර පවතින්නේ බත් හැලිය ඉදෙනතුරු පමණකැ’යි යන ජනවහරේ එන කියමන අපට හොඳට හුරුපුරුදු යි. විවාහ වු වැඩිහිටියන් අතර පමණක් නොවෙයි ආදරය කරන්න හොඳට දන්න අපේ යෞවන යෞවනියන් අතරත් මේ බත් හැලිය ඉදෙනතුරු පමණක් පවතින අඬදබර ඕනෑවටත් වැඩිය ඇතිවෙනවා. ඒත් පිඟන් කෝප්ප පොළොවේ ගහන, මුහුණින් මුහුණ නොබලන තරමේ අමනාපකම්වලත් මුල් බීජය වැපිරෙන්නෙ මේ වගේ පුංචි නොහොඳ නෝක්කාඩු දුරදිග යාම නිසයි.
වාද විවාද එපා. සමහර නිවෙස්වල පවා නිතරම දකින්න පුළුවන් දෙයක් තමයි මේ වචනයක් වැරදෙන තුරු බලා සිටින ගතිය. ඇත්තටම තමන්ගෙ සමීපතයන්ගෙන් සිදුවන යම් යම් අඩුපාඩුකම්වලට ආදරණීය සමාවක් පිරිනමන්න ඔබට හැකිවෙන්න ඕනමයි. විශේෂයෙන් සමහර කාන්තාවන් තමන්ගේ සැමියා හෝ පෙම්වතා අතින් සිදුවන පුංචි අඩුපාඩුවක් පසුපස එල්ලී යමින් අඬදබරවලට මුලපුරනවා.
තමා ආදරය කළ පෙම්වතිය සමඟ නොබිඳුණු විවාහ දිවියක් ගතකරන තැනැත්තකු තමා සමඟ මෙසේ කී බව සුප්‍රකට මනෝ විද්‍යාඥවරයකු සඟරාවකට ප්‍රකාශ කර තිබුණා. “එයා නිතරම පුංචි වැරැද්දක් හරි අල්ලගෙන මාත් එක්ක සණ්ඩු සරුවල් ඇති කරගන්නවා. කේන්ති ගියාම අල්ලපු ගෙදරටත් ඇහෙන්න බෙරිහන්දීම මගේ බිරිඳගේ සිරිතයි.ඒ වගේ වෙලාවට මම කරන්නෙ කට පියාගෙන ඉන්න එකයි. මොකද මට කෑ ගහලා පුරුද්දක් නැහැනෙ.” මම පස්සෙ වෙලාවක එයාට කරුණු කාරණා කියල දෙනවා.
රෑ නින්දට යාමට පෙර එදා දවසේ සියලුම ප්‍රශ්න නිරාකරණය කරගැනීම අපේ සිරිතයි. කොහොමටත් රණ්ඩුදබර වෙලා දික්කසාදයකින් ආදර ලෝකය කෙළවර කරගන්න ඕන නැහැ. තම සමීපතමයන් පෙළා තළා කතා කිරීමට ප්‍රථම දෙවරක්, තෙවරක් නොව කිහිපවරක්ම කල්පනා කළ යුතු බවටයි මනෝවෛද්‍ය උපදේශකවරු අවවාද කරන්නේ.
ඔබේ කටුක වදන්වලට බිය වී පෙම්වතා හෝ පෙම්වතිය නිහඬ වන සෑම අවස්ථාවක දී ම, ඔබේ ආදර දිවියේ පවුරු පදනම් සෙළවෙන බව මතක තබා ගන්න.
සාකච්ජා කිරීම පලායාමේ කලාව ආදර දිවියේ සුරක්ෂිතබවට තදින්ම බලපාන අන්දමේ වරදක්. මනෝවෛද්‍ය උපදේශකවරුන් පලායාමේ කලාව යනුවෙන් හඳුන්වන්නේ සහකරු සමඟ තරහවෙලා නිවෙසින් පිටව යාම නොවෙයි. විවාහක උදවිය නම් එකම වහලයට සිටියත්, ආදරවන්තයන් නම් නිතර නිතර හමුවුණත් එකිනෙකාට ආදරය නොදී සිටීම තමයි මේ අන්දමින් හඳුන්වන්නේ. තමන් විසින් මෙතෙක් දුරට ගොඩනඟාගනු ලැබූ ආදර ලෝකයෙන් මේ ආකාරයට පලායාම බොහෝ දෙනා කරන්නෙ අනෙකාට රිදවීමේ අපේක්ෂාවෙන්.
තම සමීපතයින් අතින් සිදු වූ වරදකට, නැත්නම් වරදක් යැයි තමා සිතන දෙයකට දඬුවම් වශයෙන් ඔහු හෝ ඇය සමඟ කතා නොකර සිටීම බොහෝ අයෙකුට ආවේණික ගති ගුණයක්. තම සමීපතයින් ආදරය පතා තමාට ළංවූ විට මේ අය කරන්නෙ නුරුස්නා සේ හැසිරීමයි. නැත්නම් මුනිවත රැකීමයි. කතාබහ නොකර බුම්මාගෙන සිටිනු වෙනුවට සිනාසී සාකච්ඡා කිරීම තුළින් බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි බවයි පවුල් සබඳතා පිළිබඳ උපදේශකවරුන් පෙන්වා දෙන්නේ.සුන්දර ආදරය ඉදිරියේ පලායන්නන්ට උරුමවන්නේ නිරන්තර පරාජයයි.
එකිනෙකා ගේ අවශ්‍යතා හදුනාගැනීම ව්‍යාජ සතුටක් මවා පෙන්වීම නම් වැඩිපුරම සිදුවන්නෙ පෙම්වතියන් නැතිනම් බිරින්දෑවරුන් අතින්. සහකරු සතුටින් තැබීම සඳහා තමන් නිතරම ප්‍රීතියෙන් කල්ගත කරන බව හැඟවෙන පරිදි කටයුතු කිරීමට බොහො කාන්තාවන් කැමැතියි. පෙම්වතා පවසන කුමක් හෝ අනුමත කරමින් තම යුගදිවියේ එහෙමත් නැතිනම් ආදර සබඳතාව තුළ ගැටුම් ඇතිවීම වළකා ගැනීමට මේ අය නොදරන උත්සාහයක් නැහැ.
මඳක් කල්පනා කරන්න. ඔබ, ඔබේ සිතුම් පැතුම්, අවශ්‍යතා සඟවා තබා ගන්නට මහන්සි වන වාරයක් වාරයක් පාසා, දිය යට එබූ රබර් බෝලයක් සේ ඒවා තව තවත් ඉස්මතු වනවා නොවේද? තම සමීපතයන්ට ආදරය ලබාදෙනවා සේම ඔවුන් වෙතින් සෙනෙහස හා මිත්‍රත්වය ලබාගැනීමට ද ඔබට ඇත්තේ පූජනීය අයිතියක්.
ව්‍යාජ සතුටක් මවා පෙන්වන්නට යාම තුළින් තම තම සමීපතයන්ගේ සැබෑ ගතිගුණ හෝ අවශ්‍යතා හඳුනාගැනීමට කිසිම කෙනකුට හැකිවන්නෙ නැහැ. මේ නිසා ඇතිවන අනවබෝධය, සිත් නොසන්සුන්තාව ආදිය ඔස්සේ කෙමෙන් පවුල් සංස්ථාව තුළට පිවිසෙන්නේ නොරිස්සුම සහ කළකිරීමයි.
විවෘතවන්න. සංවේදී සිත් ඇති බොහොමයක් මිනිසුන් තම සිත පිළිබඳ නිරන්තරයෙන්ම විමසිල්ලෙන් පසුවනවා. හැම වැරැද්දක්ම සිදුවන්නෙ තමන් නිසාවෙන්යැයි සිතන්නෙ මේ වගේ අයයි.
යුගදිවියේ ගැටුම්වලින් තොර නිසල සමාධිගතබව දිගටම පවත්වා ගැනීම වෙනුවෙන් අපේ බොහොමයක් යෞවන යෞවනියන් සේම වැඩිහිටි ආදරවන්තයනුත් මේ පිළිවෙත අනුගමනය කරනවා. මෙයත් තම සහකරු ඉදිරියේ, මවාගත් ප්‍රීති මුහුණක් පෙන්වා සිටීමට දෙවැනිවන්නේ නැහැ. මෙමගින් සිදුවන්නෙත් කල්යාමේ දී ආදර ලෝකයට කළකිරීම සහ අනාදරය එකතු වීමයි. හිටිහැටියේ අහසින් කඩා වැටුණාක් බඳු ගැටුම් සහ හිත් අමනාපකම් ඇතිවන්නෙත් මෙවැනි පෙම් සබඳතා හෝ විවාහ ජීවිත තුළයි.
එනිසා නිරන්තර සාකච්ඡා සහ අදහස් පළකිරීම සමඟ විවෘත හදවතින් ඔබේ සමීපතයන්ට සමීපවන්න. තනිකර සුදු හෝ තනිකර කළු හෝ කියා වර්ග කළ නොහැකි ඔබේ සැබෑ ගතිගුණ ඔහුට හෝ ඇයට වටහාගැනීමට ඉඩ හරින්න.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Happy-Families-Healthy-Families_Program_1200x630px.jpg”]
-ශානිකා රත්නායක-