Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු ඉන්දීය දේශපාලනයේ අපරාජිත චරිතය “කරුණානිධි”

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 19:12

දකුණු ඉන්දීය දේශපාලනයේ අපරාජිත චරිතය “කරුණානිධි”

ඉන්දියාවේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වූ කරුණානිධි පසුගියදා සිය ජීවිත ගමනට සමු දුන්නා. කරුණානිධි මිය යන විට 94වන වියේ පසු වූ කරුණානිධි පසුගියදා සිය ජීවිත ගමනට සමුදුන්නා. කරුණානිධි මිය යන විට 94 වන වියේ පසු වූ කරුණානිධි ගේ ජීවිතයේ දේශපාලන භූමිකාවට එහා ගිය කතාවක් තිබෙනවා. මේ කියන්න හදන්නේ… වැරදුණා, මේ ලියන්න හදන්නේ අන්න ඒ කතාව.

1924 ජූනි මාසයේ 03 වැනිදා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපට්ටනම් හි “තිරුකුවලයි” කියන ගම්මානයේ මුතුවේල් කරුණානිධි උපත ලබනවා. අයියදොරෙයි මුතුවේල් සහ අන්ජුගම් යුවළට උපන් තුන්වන දරුවා වන කරුණානිධි පාසල් වැඩවලට වඩා ආශාව දැක්වූයේ සංගීතය, ලේඛනය හා විෂය බාහිර වැඩවලටයි.

 

මේ ලේඛනයට තිබුණු ආශාව කොච්චරද කිව්වොත් කරුණානිධි තමන්ගේ පළමු සඟරාව ආරම්භ කරන්නේ වයස අවුරුදු 15දීයි. ” මානවර් නේසන්” නම් මේ සඟරාව අතින් ලියා බෙදා හැරි සඟරාවක්. ඉන් පසුව ” මුරසෝලි” නිර්මාණය වීමට මේ සඟරාව බෙහෙවින් බලපානවා. කරුණානිධි ගේ ලේඛනය වඩාත් පුළුල් වෙන්නේ ද්‍රවිඩ දෘෂ්ටිවාදයන් ප්‍රකාශවන ආකාරයේ නාට්‍ය රචනා වීමත් සමඟයි. වයස අවුරුදු 20 දි ඔහු වෘත්තිමය නාට්‍ය රචකයෙක් හා නළුවෙක් ලෙස කලාවට පිවිසෙනවා.

ද්‍රවිඩ සිනමාවට…

කරුණානිධි ඔහුගේ වෘත්තිය ද්‍රවිඩ සිනමාවේ තිර පිටපත් රචකයෙක් විදියට අරඹනවා. ඔහුගේ පළමු සිනමා රචනය ” රාජාකුමාරි”(RajaKumari) ඉන්දියාවේ කොයිම්බතූර් මූලික කරගෙන A.S.A සාමි විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ M.G.රාමචන්ද්‍රන් විසින්. මේ හමුවීම තමිල්නාඩු ‍දේශපාලනයට හා කරුණානිධිගේ දේශපාලන අනාගතයට බලපාවි යැයි එදා ඔහු
නොසිතන්න ඇති. කෙසේ වෙතත් එම්. ජී. රාමචන්ද්‍රන් හා කරුණානිධි අතර දිගුකාලීන මිත්‍රත්වයකට මුලපුරන්න මේ හමුවීම සමත් වෙනවා.

 

” Abhimanyu” (1948), “Marudhanaattu Ilavarasi”(1950) යන චිත්‍රපටවලටද M.G.රාමචන්ද්‍රන් ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වෙනවා. 1949න් පසු ” Manthiri Kumari” ද කරුණානිධි හා M.G.රාමචන්ද්‍රන් ගේ සුහදතාවයේ තවත් එක් ප්‍රතිඵලයක්. කරුණානිධිගේ තිර රචනා අතර වඩාත් කැපී පෙනෙන චිත්‍රපටය වන්නේ “Parasakthi” චිත්‍රපටයයි. එය ද්‍රවිඩ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැඳින්විය හැකියි. හින්දු ආගමික දෘෂ්ටිය ය පිළිබඳ ලියැවුණු මේ චිත්‍රපටයෙන් පසුකාලීනව ද්‍රවිඩ සිනමාවේ පතාක යෝධයන් බවට පත් වූ සිනමා රංගන ශිල්පීන් දෙදෙනෙක් හඳන්වා දීමටත් ඔහුට හැකි වෙනවා. ඒ ” සිවාජි ගනේෂන්” හා “එස්.එස්.රාජේන්ද්‍රන්”. “Parasakthi” චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ චිත්‍රපටයක් ලෙස ද්‍රවිඩ සිනමා ඉතිහාසයට තබන රන් සළකුණ සමඟ කරුණානිධි එක්වන්නේ අන්න ඒ විදියට.

 

මේ හා සමාන තේමා රැගත් සිනමා නිර්මාණ 2ක් ලෙස “Panam”(1952) හා “Thangarathnam” (1960) චිත්‍රපට හඳුන්වන්න පුළුවන්. “Panam” චිත්‍රපටය නිෂ්පාදනය තරමින් රංගනයේ යෙදුණේ ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් වගේම දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන N.S. ක්‍රිෂ්ණන් විසින්. ඒ වගේම තවත් DMK පක්ෂ ක්‍රියාකාරිකයෙක් වන S.S. රාජේන්ද්‍රන් විසින් නිෂ්පාදනය කළ රංගනයෙන්ද දායක වූ
”Thangarathnam”(1960) චිත්‍රපටයද කරුණානිධි ගේ රචනයක්. මෙම සිනමා තිර රචනාවන් වැන්දඹුවන් නැවත විවාහ වීම, මිනිසුන් විවිධ හේතු මත නොසලකා හැරීම්වලින් වැළැක්වීම, සමින්දාරී අහෝසි කිරීම, ආගමික මිත්‍යාදෘෂ්ටීන් බැහැර කිරීම වැනි තේමාවන් ඔස්සේ රචනා කර තිබුණා. 1954 තිරගත වුණු තවත් අමරණීය චිත්‍රපටයක් වන “Manohara” චිත්‍රපටය සිවාජි ගනේෂන්, S.S.
රාජේන්ද්‍රන් සහ පී. Kannamba රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණයක්.

මීට අමතරව “Manmagal(1952), Manohara(1952), Malaikkallan(1954), “Rangoon Radha”(1956), “Raja Rani”(1956), “Pudhaiyal”(1956), “Pudhumai Pithan”(1957), “Kuravanji(1960), “Arasilangkumari”(1961), “Thayilla Pillai”(1961), “Iravar Ullam”(1963), “Kaanchi Thalaivan”(1963), “Poompuher(1964) ආදි සිනමා නිර්මාණ රැසක් තිර රචනා කළ කරුණානිධි සිය තිර රචනා වෙනුවෙන් සම්මාන ද ලැබීමට සමත් වෙනවා. ඔහුගේ අවසන් සිනමා පටය වන්නේ 2011 වසරේ රචනා කළ ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයක් වන “Ponnar Shankar” චිත්‍රපටයයි.

 

 

කරුණානිධි නම් ලේඛකයා සහ කවියා…

කරුණානිධිගේ දේශපාලන දැක්ම කුමක් වුණත් ඔහු තුළ සිටි රචකයා, ලේඛකයා, කවියා, කලාකරුවා මෙන්ම විශිෂ්ට පරිකල්පනිකයා අමරණීය නිර්මාණ රැසක් ඉන්දියානු කලාවට දායාද කර තිබෙනවා. ඔහු මුල් කාලයේ ද්‍රවිඩ සාහිත්‍යය තුළ කවි, ගීත, නිසඳැස්, ලිපි, නවකතා, ඓතිහාසික නවකතා, වේදිකා නාට්‍ය පිටපත්, චිත්‍රපට පසුබිම් ගීත ආදිය රචනා කර තිබෙනවා. “Tholkaappiya Poonga”, “Poombukar” ඇතුළු විවිධ නිසදැස් රචනා සහ පොත් සංඛ්‍යාව 100ට අධිකයි. ” Sanga Thamizh”, “Thirukkural Urai”, “Ponna Sankar”, “Rompuri Pandian”, “Thenpandi Singam”, “Vellikizhamai”, “Nenjukku Needhi”, “Iniyavai Irubathu” සහ
“Kuraloviam” වැනි කාව්‍යමය නිර්මාණ ඒ අතර වනවා.

නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබුවද කරුණානිධි සතුව තිබූ පරිකල්පන හැකියාව නිසාම ඔහු දකුණු ඉන්දීය ද්‍රවිඩ සමාජයේ වූ ඇතැම් මතවාද, මිත්‍යාවන් තම පෑනෙන් විවේචනය කරන්නේ තමිල්නාඩුවේ අනාගත දේශපාලන නායකත්වයක පෙරමං සළකුණු පෙන්වමින්.

ලේඛනයෙන් දේශපාලනයට..

ජීවිතය අපට අවස්ථාවන් ලබා දෙන්නේ අනපේක්ෂිත විදියට. සමහර විට අපි ආරම්භයක් ගන්නා, ඒ ආරම්භයෙන් සිහින මවනා අරමුණු අතරමගදී වෙනස් වෙලා වෙනම තැනකට අපේ දෛවය අපිව රැගෙන යන්න පුළුවන්. මට හිතෙනවා කරුණානිධිත් එහෙම කෙනෙක් කියලා. ඉගෙන ගන්න, පොතපතට ආදරය නොකළ කරුණානිධි සංගීතය, කලාව, ලේඛනයට ආශාව දැක්වීම හා ඉන් පසුව අපරාජිත
නායකයෙකු ලෙස දකුණු ඉන්දීය දේශපාලනයේ ඉහළම තැනක රැඳී සිටීම දෛවෝපගත සිදුවීමක්.

වයස 14දි දකුණු ඉන්දීය ලිබරල් සංගමයේ යුක්ති පක්ෂයේ “අලගිරිස්වාමි” විසින් සිදු කළ ‍ප්‍රසිද්ධ කතාවකට සවන් දීමෙන් ඔහු දේශපාලනයටපිවිසෙන්නට අදහසක් ඇති කර ගන්නවා. ඉන් පසුව විවිධ උද්ඝෝෂණ ව්‍යාපාරවලට එක් වෙනවා. මේ ආභාසය තමයි ඔහුට පෙර කී “මානවර් නේසන්” පුවත්පත අකුරින් රචනා කරන්නට උත්තේජනය සපයන්නේ. පසුකාලීනව DMK ( ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්)
පක්ෂයේ නිළ පුවත්පත සඳහා ද එක්වන කරුණානිධිගේ ප්‍රථම දේශපාලන ආගමනය නිළ වශයෙන් සනිටුහන් වෙන්නේ “Kallakudi” උද්ඝෝෂණයට එක් වීමත් සමඟින්.

 

“Kallakudi” උද්ඝෝෂණය..

 

 

“Kallakudi” කියන්නේ දකුණු ඉන්දියාවේ නගරයක්. මේ නගරයේ නම “Dalmiapuram” ලෙස වෙනස් කර තිබුණා. ඒ එම ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් විවෘත වීම හා බැඳුණු සිද්ධි මාලාවක ප්‍රතිඵලයක් විදියටයි. DMK පක්ෂයට අවශ්‍ය වුණා නැවත මේ නගරය “Kallakudi” ලෙසින් වෙනස් කරන්න අවශ්‍ය වුණා. මේ නිසා ඔවුන් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. එහි මූලිකත්වය ගත් කරුණානිධි සහ ඔහුගේ සහචරයන් දුම්රිය ස්ථානයේ තිබූ නාම පුවරුවේ “Dalmiapuram” ලෙස සඳහන්ව තිබුණ නම මකා දැමුවා. ඒ වගේම දුම්රිය ධාවනය වන මාර්ග අවහිර කරනු ලැබුවා. මේ විරෝධතාවේ ප්‍රතිඵලයක් විදියට පුද්ගලයන් දෙදෙනෙක් මරණයට පත් වුණා. අවසානයේ කරුණානිධි ව අත්අඩංගුවට පත් වුණා.

 

 

මුතුවේල් කරුණානිධි කියන්නේ රැඩිකල් මිනිහෙක්. 1963 අවුරුද්දෙත් ඔහු නැවත අත්අඩංගුවට පත් වෙනවා. ඒ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදටයි. (මිනිහෙක් රැඩිකල් වෙන්න ව්‍යවස්ථාව පුච්චන්න ඕනෙද කියලා ඔබ හිතන්න පුළුවන්. නෑ රැඩිකල් කියන්නේ ඒ නිසා නොවෙයි. )

පළමු මැතිවරණය..

නිළ වශයෙන් දේශපාලනයට පිවිසෙන කරුණානිධි තමිල්නාඩු ප්‍රාන්ත සභාවට තේරී පත්වෙනවා. ඒ 1957 මැතිවරණයෙන් “කුලිතලෙයි” ආසනය ජය ගනිමින්. 1961 දි ඔහු DMK පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට පත් වෙනවා. 1962 වසරේ කරුණානිධි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් වෙනවා. 1962 වසරේ DMK ( ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්) පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරට
පත් වෙනවා. මේ අතරතුරේදී 1967 වසරේ DMK පක්ෂය බලයට පත් වන විට ඔහු රාජ්‍ය සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.

 

 

තමිල්නාඩු ප්‍රාන්තයේ ලොකු පුටුවට..

දෛවය අපිට අවස්ථාවන් ලබා දෙන්නේ අපිවත් බලාපොරොත්තු නොවන වෙලාවක වෙන්න පුළුවන්. සමහර සිහින හිතුවාටත් වඩා ඉක්මනින් සැබෑ වෙන්නත් පුළුවන්. ජීවිතේ මේ සිහින ලොතරැයියක් ඇදෙනවා වගේ වාසනාව ගෙන එන අවස්ථා නැතිව නොවෙයි. 1969 වර්ෂය කියන්නේ කරුණානිධි ගේ ලොතරැයිය ඇදෙන වර්ෂය. හිටපු මහ ඇමති අන්න‍දොරෙයි ගේ මරණයත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත
මුල් පුටුව හිස් වෙන්නේ මේ අතරේදීයි.

 

 

මේ හිස් වන මුල් පුටුව පුරවන්න කරුණානිධිට අවස්ථාව හිමි වෙනවා. ප්‍රධාන අමාත්‍යවරයා වීමත් සමඟ මෙතෙක් ඔහු දිවිහිමියෙන් කැප වී වැඩ කළ පක්ෂය වන DMK පක්ෂයේ නායකත්වය ද ඔහුට හිමි වෙනවා. ඒ 1969 ජූලි මාසයේදීයි. ඉන් පසුව ඔහු පස්වතාවක් 1969, 1971, 1989, 1996 හා 2006 යන වසරවල තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්
වෙනවා.

මිතුරෝ පස මිතුරෝ වීම..

ඒ 1972 වසරයි. මෙතෙක් කල් සිනමාවේ පළමු චිත්‍රපටයේ සිටම තමන් හා සිටි සඟයාව හැර යමින් (MGR) M.G. රාමචන්ද්‍රන් DMK පක්ෂයෙන් ඉවත්ව AIADMK නමින් වෙනම පක්ෂයක් පිහිටුවා ගන්නවා. ඇත්තම කිව්වොත් කරුණානිධි විසින් M.G. රාමචන්ද්‍රන්ව ඉවත් කරනු ලබනවා. මේ ඉවත් කිරිම හා නව පක්ෂයක් බිහි වීම තමිල්නාඩු දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත් වෙනවා. ඉන්පසුව මහ ඇමති තනතුර වෙනුවෙන් මේ පක්ෂ දෙක ප්‍රබල සටනක් ලබා දෙන අතර DMK පක්ෂයේ පරාජයන් රැසකට මෙය හේතුවක් වුණා. 1987 දී M.G. රාමචන්ද්‍රන් මිය යනතුරුම මේ තත්වය ඒ අයුරින්ම පවතිනවා.

 

 

කරුණානිධිගේ අපරාජිත දේශපාලනය..

1957 වසරේ සිට කරුණානිධි තමන් ඉදිරිපත් වූ කිසිම මැතිවරණයකින් පරාජයට පත් නොවීම විශේෂත්වයක්. 1957 සිට 2016 දක්වා පැවති මැතිවරණවලින් 1984 වසරේ මැතිවරණයට කරුණානිධි ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා 1984 හැර අනෙක් සියලුම අවුරුදුවල පැවති මැතිවරණ සියල්ලෙන් ම තමන් ‍තරඟ වැදුණු ආසනය ජය ගැනීමට ඔහු සමත් වෙනවා. DMK පක්ෂයේ 50 වසරක නායකත්වයට හිමිකම්
කියූ ඔහු 2013 වසරේදී තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුගේ පුත්‍රයා වන ස්ටාලින් ගේ නම ප්‍රකාශයට පත් කරනවා.

 

 

අවසානය…

ජීවිතේ මොන දේ සිදු කළත් අවසානයේ මේ හැම දෙයක්ම අත්හැරලා යන්න වෙන එක අපි කාටත් පොදු දෙයක්. ඒ අප්‍රසන්න සත්‍යයට මුහුණ දෙන්න අපි කවුරුත් බයයි. ඒත් යන වෙලාව සහ එන වෙලාව තීරණය කරන්නෙ අපි නොවෙයි, වෙන කවුදෝ කෙනෙක්. කරුණානිධිට තවදුරටත් ජීවත් වෙන්න බලාපොරොත්තු තිබෙන්න ඇති. ඒත් හදිසියේ මුත්‍රා ආසාදනයක් හා ඔහුගේ වයසත් එක්ක ඇති
වූ රෝගාබාධ කිහිපයක් නිසා පසුගිය ජූලි 28වැනිදා ඔහුව රෝහල්ගත කරනවා. අසාධ්‍ය තත්වයේ පසු වීම නිසා දැඩි සත්කාර ඒකකය වෙත යොමු කරන කරුණානිධිගේ රෝගී තත්වය 29 වැනිදා වන විට තවත් උත්සන්න වෙනවා. නමුත් ඔහුගේ ඉන්ද්‍රියයන් අක්‍රිය වෙමින් පැවතීම හා ඔහුගේ වයස හේතුවෙන් ඇතැම් ප්‍රතිකාරවලට යාමේ අසීරු බව රෝහල් නිළධාරී මණ්ඩලය වරින් වර නිවේදනය කරනවා.

 

 

මේ සියලු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් පසුගිය 07 වැනිදා පස්වරු 6.10ට 94 හැවිරිදි කරුණානිධි සිය ජීවිත ගමනට සමු දුන් බව කෞවේරි රෝහල නිවේදනය කිරීමත් සමඟ දහස් ගණනක් DMK පාක්ෂිකයෝ හඬා වැටුණා.

ආදාහන කටයුතුවලට බාධා..

ඔහුගේ ආදාහනය සිදු කිරීම සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් සිදු වුණා. විශේෂයෙන් ම කරුණානිධිගේ අවසන් කටයුතු අන්නාදුරෙයි, M.G, රාමචන්ද්‍රන් සහ ජයලලිතා යන හිටපු මහ ඇමතිවරුන් ගේ සොහොන් සංකීර්ණයේ සිදු කිරීමට AIADMK රජය විසින් අවසර ලබා නොදීම හේතුවෙන් ගැටළුකාරී තත්වයක් පැන නැගුණා. මේ සම්බන්ධයෙන් AIADMK රජය හේතු දක්වමින් කියා
සිටියේ මිය යන විට කරුණානිධි තමිත්නාඩු මුල් පුටුව හෙබවූ අයෙකුව නොසිටි බැවින් ඒ අවස්ථාව ලබා දිය නොහැකි බවයි. මීට පෙර ජානකි රාමචන්ද්‍රන් මිය ගිය අවස්ථාවේද චෙන්නායි මරිනා වෙරළේ මෙම ආදාහන කටයුතු සිදු කිරීමට අවසර ලබා දී තිබුණේ නැහැ. මොකද මිය යන විට ඇය මහ ඇමති තනතුරේ නොසිටීම හේතුවෙන්.

 

 

මේ හේතුවෙන් DMK පක්ෂය කියා සිටියේ චෙන්නායි මරිනා වෙරළේ අවසන් කටයුතු සිදු කිරීමට මහ ඇමතිව සිටියදී මිය යා යුතු බවට නීතියක් නොමැති බවයි. ඒ වගේම කරුණානිධි පස් වරක් මහ ඇමති ධූරය දැරූ කෘතහස්ත දේශපාලනඥයෙකු බව ඔවුන් කියා සිටියා. කෙසේ වෙතත් අවසානයේ මදුරාසි ඉහළ අධිකරණය විසින් මේ සඳහා අවසරය ලබා දීමත් සමඟ කරුණානිධිගේ දේහය
පිළිබඳව අවසන් කටයුතු හිටපු මහ ඇමති අන්නදුරෙයිගේ ආදාහනය සිදු කළ ස්ථානය අසළ සිදු කෙරුණා.

 

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි, තමිල්නාඩු මහ ඇමති ඊ පලනිස්වාමි, නියෝජ්‍ය මහ ඇමති ඕ. පන්නීර්සෙල්වම් ,  සිනමා නළු රජිනි කාන්ත් හා කමලා හසන් ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

පසු සටහන..

දේශපාලනය කියන්නේ ගේම් එකක්. සිස්ටම් එක ඇතුළේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ ගේම් එක දිගටම කරන්න වෙනවා. කලාවෙන් ඇරඹුණ කරුණානිධිගේ දේශපාලනයත් එහෙම එකක්. කරුණානිධිගේ දේශපාලනය ලංකා‍වට බලපෑ කාලයක් තිබුණ බව මෙතන නොලිව්වාට කියවන ඔබ දන්නවා ඇති. ඒත් ඒ අතීතය දැන් සදහටම අමතක කර දමන්න කාලය ඇවිත්. මොකද සියලු නැටුම්
කෙළි පෙළහර පාලා අවසනදී කරුණානිධිටද ලෝක සත්‍යය මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා. දේශපාලනය කෙසේ වෙතත් කරුණානිධි නම් කලාකරුවා, ලේඛකයා, කවියාගේ සුන්දරත්වය ඉන්දීය ඉතිහාසය සුවඳවත් කරන බව නම් නොඅනුමානයි.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් –

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 19:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්