fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව රජය අවධාරණය කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 14:52

වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කළ යුතු බව රජය අවධාරණය කරයි

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ හදිසි වැඩවර්ජනය මෙරට වෘත්තීය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා. ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කරන්නේ ඊයේ දිනයේ වෘත්තීය සමිති පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිති ත්‍රස්තවාදය බවයි.

සේවය අවසන්කර නිවෙස් බලා යන දස දහස් ගණන් මගී ජනතාව මෙන්ම උසස්පෙළ විභාගයට මුහුණ දෙන සිසු දරුවන් විශාල පිරිසක් ද දුම්රිය සේවකයන් හදිසියේ සිදු කළ වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වුණා. වෘත්තීය සමිතිවල පටු අරමුණු සමාජයේ අන් සියලු දේට වඩා ඉහළින් සළකන තමන්ගේ උවමනා හැර අන් සියල්ලන්ගේ උවමනා වැදගත් නොවන බව සිතමින් මෙලෙස වැඩවර්ජනයකට එළඹීම කුහක මානසිකත්වය පෙන්නුම් කිරීමක් බව අග්‍රමාත්‍ය කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සදහන්. එහි අවධාරණය කර ඇත්තේ රටක් වශයෙන් අප එකතුවී තිස් වසරක් තිස්සේ මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයටම වෘත්තීය සමිති ත්‍රස්තවාදය මතවාදීමය වශයෙන් ප්‍රායෝගික තලයේ සිට පරාජය කිරීමට කාලය පැමිණ ඇති බවයි. වෘත්තීය සමිති සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට උපරිමයෙන් ගරු කරන අතර වෘත්තීය සමිතිවලද වගකීම වන්නේ සදාචාරමය සහ ආචාර ධර්මවල සිට කටයුතු කිරීමයි. රාජකාරියෙන් පසු නිවෙස් බලා යන මගීන් සහ සිය ජීවිතයේ ඉතාම වැදගත් කඩඉම් විභාගයකට පෙනී සිටින දරුවන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම කිසිම සදාචාරාත්මක හෝ ආචාර ධර්ම රාමුවකට අයත් නොවේ. වැඩවර්ජනයක් ආරම්භ කිරීම වෘත්තීය සමිතියක අවසන් උපාය මාර්ගය විය හැකි අතර  කිසිලෙසකවත් එය තමන් සතු පළමු ආයුධය ලෙස පාවිච්චි නොකළ යුතු බව එම නිවේදනයේ අවධාරණය කර තිබෙනවා.  කොටුව දුම්රිය ස්ථානය හා ඒ අවට දී දුම්රිය මගීන් සිදුකළ විරෝධතාව ද තේරුම් ගත යුත්තේ ඒ පසුබිම තුළ සිට බව එම නිවේදනයේ සදහන්. ඔවුන්ගේ කෝපය සහ අප්‍රසාදය තේරුම් ගැනීමට හැකිවුවත් වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ මෙන්ම වර්ජකයන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන් සුරක්ෂිතව නිවෙස් කරා යැවීමට ද අවශ්‍ය පියවර ගත යුතුයි. පොලිස් විශේෂ කාර්ය බලකාය පවා යොදවා එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගත්තේ එම කරුණු මුල්කරගෙන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා රජයට ඇති කැපවීම දුර්වලකමක් සේ සැලකීම නොකළ යුතු අතර මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කොට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට උපරිමයෙන් කැප වන බවද එම නිවේදනයේ අවධාරණය කර තිබෙනවා. ඒ සදහා රජයට උපරිම සහාය ලබා දෙන ලෙස අමාත්‍ය සාගල රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්