fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර සරසවියේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 19:01

නැගෙනහිර සරසවියේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකළ ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ සිදුකෙරුණා. නැගෙනහිර විශ්වවිද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. නව ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ සමරු ඵලකය නිරාවරණය කර ජනාධිපතිතුමා එය සිසු අයිතියට පවරා දීම සිදු කළා. නව සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදු කළේ ද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන්.

සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන ව්‍යවහාරික විද්‍යා පීඨ ගොඩනැගිල්ල සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 410 ක්. එමෙන්ම වැඩ ආරම්භ කළ සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 784 ක් වනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසිකාගාර හා අනෙකුත් ගොඩනැගිලි හිඟකමට විසඳුම් දෙමින් සියලු විශ්වවිද්‍යාල හා පීඨ ආවරණය වන පරිදි ගොඩනැගිලි පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළේ 2015 වසරේදීයි. එම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉදිකිරීමට යෝජිත සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාව 162 ක් වන අතර ඒවායේ ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. එම ඉදිකිරීම් වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන අසූඅට දහස් නවසිය හැට හතරක්. දැනට මෙම මුදලින් සියයට 86 කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ විශ්වවිද්‍යාල හා අනුබද්ධ පීඨ වෙත ලබා දීමට සැලසුම් කෙරෙන නේවාසිකාගාර සංඛ්‍යාව 84 ක්. මෙම නේවාසිකාගාර මගින් නවාතැන් පහසුකම් සැපයෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව තිස්තුන්දහස් හයසියයක් වන අතර එම නේවාසිකාගාරවලින් 78 ක ඉදිකිරීම් මේ වන විට සම්පූර්ණ කර තිබෙනවා. මෙහිදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය වෙත පැමිණි ජනාධිපතිතුමා වෙත එහි මණ්ඩපාධිපති ආචාර්ය ටී කනගසිංගම් මහතා සමරු තිළිණයක් ප්‍රදානය කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 7, 2018 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo