fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උගතුන් වැඩිවීමත් සමඟ ගැටලු රැසකට විසඳුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 16:21

උගතුන් වැඩිවීමත් සමඟ ගැටලු රැසකට විසඳුම්

උගතුන් වැඩිවීමත් සමග රටක ආර්ථික, සාමාජීය හා දේශපාලන ගැටලු රැසකට විසඳුම් ලැබෙන බව ජනාධිපතිතුමා පවසයි. රටේ අනාගතය බාරගැනීම සඳහා සූදානමින් සිටින දූ දරුවන් උගත් පරපුරක් ලෙස ගොඩනැගීමට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දැවැන්ත පරිවර්තනයක් රජය අරඹා තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (03) පෙරවරුවේ එක්වෙමිනි.

සිසු දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මිනිසා තුළ ශිෂ්ටත්වය සහ විනය ඇති වනුයේ අධ්‍යාපනය මඟින් බවයි. අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම පහසුකම් ලබාදීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

1876 ආරම්භ කළ දීර්ඝ ඉතිහාසයක් ඇති පාසලක් වන අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වසර 142 ක ගමන් මග ද මෙහි දී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

අද පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.

අනතුරුව ජනාධිපතිතුමා ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක් වූ අතර, විශිෂ්ටතා දැක්වූ දරුවන් කිහිප දෙනෙකු වෙත සහතිකපත් සහ තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමා වෙනුවෙන් ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී ජයසිංහ යන මහත්ම මහත්මීන් සහ විදුහල්පතිනි රමණි වාසල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

මේ අතර අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

එම විද්‍යාලයේදී ද සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.

නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු දරුවන් සමග සුහද කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසීය.

1954 දී ප‍්‍රදේශයේ විහාරස්ථානයක් කේන්ද්‍රකර ගිනිමින් ආරම්භ කළ අනුරාධපුර දීපානි මහා විද්‍යාලය 1957 සැප්තැම්බර් 02 වැනිදා රජයේ පාසලක් බවට පත්විය. අද විද්‍යා, කලා, වාණිජ්‍ය විෂය ධාරාවන්ගෙන් පන්ති පැවැත්වෙන මෙහි සිසු දරුවෝ දහසක් පමණ අධ්‍යාපනය ලබති. ළඟම පාසල, හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති මෙහි සංවර්ධන කටයුතු සදහා වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි අසූ පන්ලක්ෂයකි.

මේ අතර අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ඉදිකරන ලද දෙමහල් දාන ශාලාව හා දෙමහල් ශිෂ්‍ය කේන්ද්‍රීය මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේ ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතිනි.

අනුරාධපුර ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය අංග සම්පූර්ණ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සැලැස්ම යටතේ රුපියල් මිලියන 213ක වැය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදුකර තිබේ.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ උත්සවයේ මුලසුන හෙබ වූ අතර, ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වර්තමාන මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය පාතේගම ඥනීස්සර ස්වාමින් වහන්සේ විසින් රචිත ග‍්‍රන්ථයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, දුමින්ද දිසානයක, චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්. පී. ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 16:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්