fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සතුන්ටත් කතා කරන්න පුළුවන් ?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 08:30

සතුන්ටත් කතා කරන්න පුළුවන් ?

කතා කරන සතුන් පිළිබඳව කුඩා කල ඔබ ඇසූ කතාන්දර සම්බන්ධයෙන් පසුව ඔබට සිතුණේ කුමක්ද? ‘මොන බොරුද? සත්තු කවදද කතා කළේ ? ‘ඔබට බොහෝවිට සිතෙන්නට ඇත. එහෙත් අද වන විට ඒවා හාස්‍යයෙන් යුතුව ඉවත හෙළිය යුතුම නොවන යම් ඇත්තක්ද ගැබ් වුවක් බව මේ වනවිට විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

මිනිස් ඇසුරට වඩාත් සමීප සුනඛයන්, බළලුන් සම්බන්ධයෙන් සිදුකරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් අද වන විට ඒ සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා. එම සතුන්ට අපට මෙන් වාග් විද්‍යාත්මක (linguistics) වශයෙන් අදහස් ප්‍රකාශ කරනන්ට නොහැකි වුවද තම හැඟීම් ආවේග අවශ්‍යතා ඉතා සූක්ෂමව ශබ්ද ධ්වනිය සහ දේහ භාෂාවෙන් (Body language) ප්‍රකාශ කරන්නට හැකි බවටයි මේ වනවිට විද්‍යාත්මකව තහවුරු වී තිබෙන්නේ.

එසේ වුවද අදහස් ප්‍රකාශ කිරීමෙහිලා සතුන් බොහෝ දුබල නොවේදැයි කෙනෙකුට සිතෙන්නට පිළිවන්. එහෙත් අද වන විට දියුණු රටවල චර්යා විද්‍යාව (Ethology) නමින් හැඳින්වෙන විෂයක්  මගින් සතුන්ගේ මෙම අදහස් ප්‍රකාශනය ගැඹුරින් හැදෑරීමේ හැකියාව උදාකර දී තිබෙනවා. මෙය ස්නායු කාය ව්‍යච්ඡේද විද්‍යාව (Neuroanatomy) පරිසර විද්‍යාව  (ecology) සහ පරිනාමීය ජීව විද්‍යාව (evolutionary biology) ආදී විෂය හා සම්බන්ධ නවතම විෂය පථයක්. අපට තවමත් සතුන්ගේ එවැනි භාව ප්‍රකාශනයන් මනාව අවබෝධ කරගත හැකි නොවූවද දියුණු රටවල නම් සතුන්ගේ හඬ හා දේහ භාෂාමය ප්‍රකාශයන් විද්‍යාත්මකව ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකි විද්වත් පිරිසක් බිහිව සිටිනවා.

විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයීය පශු ආයතනයේ (Bristol University Veterinary school) ඇතුළු ලොව පුරා විද්‍යායතනවල සත්ව චර්යාවලින් හෙළිවන සන්නිවේදන ගැන පර්යේෂණ සිදු කරනවා. ඒවායේ ප්‍රථිපල ද ලොවට නිරාවරණය කර තිබෙනවා පමණක් නොවෙයි එය දියුණු රටවල විෂයක් ආකාරයට පාසල් සහ උසස් අධ්‍යාපනයටද එකතු කර තිබෙන බවටයි  වාර්තා වෙන්නේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල ජීවත් වන අපට නම් තවමත් සතුන් අදහස් ප්‍රකාශ කරනවා යන්නම විහිළුවක් විතරයි.

සත්ව චර්යා (animal behavior) සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රමුඛ පෙළේ පර්යේෂණවලින් වැඩි ප්‍රමාණයක් සුනඛයන් සහ බළලුන් මුල්කොට ගෙනයි සිදුව තිබෙන්නේ. එහිදී එම සතුන්ගේ චර්යා පිළිබඳව සොයාගෙන ඇති තොරතුරු බොහෝය.

සුනඛයකු බිරීමක් මගින් පවසන දේ විවිධාකාරයි. තැති ගැන්මකට ලක් වී බුරන ආකාරය, නාඳුනන කෙනෙකු දුටු විට බුරන ආකාරය, විරහා වේදනාවක්, සංවේගයක්, ලිංගික අවශ්‍යතාවක්, නිවසේ තනි වූ විට, ආදරය ප්‍රකාශ කිරීමේදී, හිතෛෂිවන්තයෙකු දුටු විට සතුට පළ කිරීම් ආදී වශයෙන් සුනඛයෙකු නගන හඬ නැතිනම් බිරීම එකි‘නෙකෙට බොහෝ වෙනස්.

බළලුන්ගේ සහ සුනඛයන්ගේ වලිගය කියන්නේ අතිශය ප්‍රබල සන්නිවේදන මෙවලමක්.  සුනඛයෙකු වලිගය වනන ආකාරයෙන් විවිධ අදහස් පළ කරනවා.ඒ අතර වලිගය පහත හෙළා සිටීමෙන් නිවට නියාලු බව ප්‍රකාශ කරන බව නොරහසක්.

බැලු බැල්මට ගාම්භීර බවක් පළ වුවද ඇල්සේෂන් හෙවත් ජර්මන් ෂෙපර්ඩ් වැනි සුනඛ විශේෂය තුළ ආත්ම විශ්වාසය ඉතා හීන වන අතර ඒ බව හැඟවෙන්නේ එම සුනඛයන් තනිව ගමන් කරන සෑම විටම වලිගය සහ හිස පහතට හෙළා දෙපස බලමින් යන ආකාරයට අනුවයි. එබඳු සත්ව විශේෂවල පවතින ජාන දුර්වලතාව මගින් ආත්ම විශ්වාසයේ අඩුවක් පැවැතීම ඉතා හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්.

වලිග භාෂාවෙන් අදහස් පළ කිරීමට සුනඛයන්ටත් වඩා දක්ෂ වනුයේ බළලුන්. වලිගය රිටක් මෙන් ඉහළට ඔසවා ගෙන සිටිනවා නම් ඒ ඌ අතිශය සතුටට පත් වූ විටයි. එලෙස ඉහළට ඔසවා ගත් අතරේ වලිගය පුම්බනවා නම් ඒ කෝප ගැන්වී සිටින විටයි. ආහාරපාන තමන් වෙත ලැබෙන බව දැනෙන විට එම අපේක්ෂාව, බලා‍පොරොත්තුවද ඉහළට ඔසවාගත් වලිගයෙන් පිළිබිඹු වනවා. තම හිතෛෂීවන්තයින් තමන් අසල ගැවසෙන විටදී බළලුන්ගේ වලිගය එහා මෙහා නැටවෙන ආකාරයක් දැකිය හැකි අතර ඉන් ඔවුහු තමන් සුරක්ෂිත භාවය පළ කරනවා.

 

දෑස් පියා නිදිගත් ආකාරයක් පිළිබිඹු වුවද වලිගය එහා මෙහා චලනය වන බළලෙකු දකින ඔබට සිතෙන්නේ “මෙයා නම් හොර නින්දක”කියා නොවේද? එහෙත් මධ්‍ය ස්නායු පද්ධතියත් සමඟ පවතින සම්බන්ධතාව නිසා නින්දේදී දකින සිහින අනුව බළලෙකුගේ වලිගය එලෙස එහා මෙහා සෙලවෙන බවයි සත්ව විද්‍යාඥයන් පවසන්නේ.

මානසික ව්‍යාකූලබවක සිටින බළලෙකුගේ වලිගය ඉතා වේගයෙන් එහා මෙහා ගස්සන ආකාරයක්  දකින්න පුළුවන්. බළලෙකු දැඩි අපේක්ෂාවෙන් පසුවන විට ද වලිගය එහා මෙහා චලනය කරනු දැකිය හැකියි. ගොදුරක් ඩැහැ ගැනීමේ අපේක්ෂාවෙන් පෙළෙන බළලෙකු කුරුමානමක් අල්ලන විටදී මෙය හොඳින් දකින්න පුළුවන්.

සතුන්ගේ දෑසේ භාෂාව ද (eye language) ඉතා ප්‍රබලයි. බල්ලන්, බළලුන් සතුටින් සිටින විට දෑස්වල දීප්තිය ඉතා හොඳින් නිරීක්ෂණය වෙනවා. නමුත් රෝගී තත්ත්වයකින් හෝ සිත් වේදනාවකින් පසුවන විට දෑස්වලින් එම දීප්තිමත් බවක් දැකිය නොහැකියි.  එවිට දෑස්වල මලානික බවක් නිරීක්ෂණය කරගත හැකිය. සතුන් අතිශය චිත්ත පීඩාවකින් පසුවන විට දෑස් මත පටලයක් බැඳී ඇති ආකාරයක් දැකගත හැකිය.

මේ ආකාරයට සතුන් හා සමීපව ජීවත්වන සතුන්ට බොහෝ ආදරය කරන මිනිසුන්ට උන්ගේ මානසික විපර්යාසයන් ඉතා ඉක්මනින් දැනෙනවා. දියුණු රටවල නම් සතුන්ගේ එබඳු මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනීමට අද වන විට වෘත්තිකයන් පිරිසක් පවා බිහි වී සිටිනවා. ඒ චර්යාවේදය (Behaviorism) නම් විද්‍යාත්මක විෂය පදනම් කරගත් සත්ව චර්යාවේදීයි (Animal behaviorist)

දියුණු රටවල ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය තුළට ද මෙය විෂයක් ආකාරයට ඇතුළත් කර ඇති නිසා තම නිවසේ ඇතිදැඩි වන සතුන්ගෙන් පවා නිවසේදීම අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් එම රටවල දරුවන්ට ලැබී තිබෙනවා. එහෙත් අපේ රටේ කුඩා දරුවන්ගෙන් සුරතල් සතුන් ඈත් කොට වෙනම අධ්‍යාපනය ලබාදීම දරුවන්ගේ මානසික සංවර්ධනය එල්ල කරන මරු පහරක්.

සත්වචර්යාවේදී වෘත්තියේ යෙදෙන බොහෝ පිරිස් සුරතල් සතුන් ඇසුරු කළවුන් බව නොරහසක්. එමෙන්ම නිවසේ ඇති දැඩි කරන සුරතල් සතුන්ගේ හැසිරීම් වෙනස්වීමේ දී මෙම සත්ව චර්යාවේදීන්ගේ සහාය ලබාගැනීමට ලොව දියුණු රටවල ජනතාවට දැන් අවකාශ තිබෙනවා. ඒ අනුව එම සතුන්ගේ භාෂාව ඇසුරින් ඔවුන් මුහුණ දෙන කායික මානසික ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට මෙම සත්වචර්යාවේදීන් කටයුතු කරනවා.  සතුන් පිළිබඳ එවැනි අධ්‍යාපනයක් මෙරටත් සාර්ථකව සිදුවෙනවා නම් අද වන විටත් ශ්‍රී ලංකාව පසුවන තත්ත්වය පිළිබඳව අප තුළ සැබෑ කම්පාවක් සහ කණගාටුවක් ඇතිවීම වළක්වන්න පුළුවන්.

 

-ශානිකා රත්නායක-

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 3, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්