fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රේම් ගොසින් වසරම 29ක්ය..

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 19:35

ප්‍රේම් ගොසින් වසරම 29ක්ය..

ජීවිතය මහා පුදුමාකාර දෙයකි.මිනිස්සු ඉප‍දෙති. මියෙති. යළිත් ඉපදෙති. එයට මේක තමයි ලෝක ස්වභාවය කියා අපි කියමු. නැත, ඊට වඩා දෙයක් මේ ලෝකයේ සැඟවී තිබේ. ඉපදෙන හැම මිනිහෙක් ම මේ ලෝකයට එන්නේ මොකක් හරි හේතුවකටය. ඒ හේතුව හොයා ගන්නා මිනිස්සු තමන්ගේ ඒ හේතුව ඔස්සේ ගොස් අරමුණ හොයා ගන්නේය. තමන් මේ ලෝකයට පැමිණි හේතුව හොයා ගන්නේය. ඒ අරමුණ ඔස්සේ ජීවිතය අවසන් වෙනතුරු කැප වෙන්නේ ය. අවසානයට නික්මෙන්නේ ය.

මේ මැරෙන ඉපදෙන ජීවිතේ උපත හා විපත අතර තියෙන හිදැසට අපි ජීවත්වීම යැයි කියමු. මේ හිදැස ඇතුළේ වැඩ්ඩෙක් වෙන්න පුළුවන් නම් ඒක මාරම දෙයක්ය. මොකද වැඩ්ඩෙක් වෙන්න හුඟක් අමාරුය. පොඩි තැනකින් පටන් අරගෙන ඉදිරියටම යද්දි වටේ ඉන්න මිනිස්සු පොඩි එකෙක් දිහා මූ මොනවාද කරන්නේ කියලා බලන් ඉන්නවාය. පොඩි එකා කරන්නේ මොනවාද කියලා බලාගෙන ඉන්න ලොක්කෝ යන අත හොඳ නම් කකුලෙන් අදිනවා හෝ උදව් කරනවාය. යන අත නරක නම් සතුටු වෙනවා හෝ යන්න ඕනෙ පාර කියලා දෙනවාය.. (තේරුණේ නෑ නේද?) සරලව ගත්තොත් හැම ලොක්කෙක්ම කුහක වැඩ කරන්නෙ නැත. එක්කෝ උදව් කරන්නේය. නැත්නම් අත්හැර දමන්නේ ය. මේ වෙද්දි ජීවතුන් අතර හිටියා නම් කොන්දේසි විරහිතව පොඩිවුන්ට උදව් කරයි කියලා හිතෙන ලොකු නමක් තියෙන පොඩි මිනිහෙක් ගැන රටක් කතා කරන දවස අදය…

මේ ලියන්නේ තමන්ගේ වචනවලින් රටක් නළවපු ඒ වචන එහෙට මෙහෙට කර තමන් ට බැන්න මිනිස්සුන්ට බැනපු, අපහාස කළ අයට ප්‍රතිචාර දක්වපු, තමන්ව පාගපු අයට උත්තර දීපු ඒ වගේ ම තමන් විඳි සංවේදනාවන් හා විරහා වේදනාවන් ගැන දුක කියපු, ආදරය ගැන සතුට ලියපු කළු කොට, පිස්සෙක් වගේ ලියන, කතාවෙන් මිනිස්සුන්ව පිස්සු වට්ටපු, ඒත් ලොකු මිනිහෙක් ගැනය.

ඔහු , “අපේ කාලයේ පරමාදර්ශය“ ප්‍රේමකීර්ති ද අල්විස්.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ලංකාවට නිදහස ලැබෙන්න මාස 8 ට කළින් ඒ කියන්නේ 1947 ජූනි මාසේ 03 වැනිදාවක කොළඹ ද සොයිසා මහ රෝහලේ දී උපත ලබන්නේය. මැස්ටියගේ අමරාදී ගුණතිලක සහ සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් දෙමහල්ලන්ට උපදින මේ දරුවා මාලිගාකන්ද මහා විද්‍යාලයේ 5 ශ්‍රේණිය වනතුරු ඉගෙන ගෙන එතැන් සිට ආනන්දයේ අභිමානනීය දරුවකු වෙන්නට වාසනාවන්ත වෙයි. ප්‍රේමකීර්ති කියන්නේ ඉස්කෝලෙත් නිකම් හිටපු මිනිහෙක් නොවේ. ආනන්දයේ සමාජ විද්‍යා පර්යේෂණ සඟරාවේ උපදේශ සංස්කාරක, ආනන්දයේ වාර්ෂික සඟරාව වන ආනන්ද සඟරාවේ සංස්කාරක, බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ධම්ම ජයන්ති සඟරාවේ සම සංස්කාරක යන තනතුරු දරන්නේය. (මේ තනතුරු එක්ක ප්‍රේම් මොන මොන දේවල් කරන්නට ඇතිද? ඒවා මේ ලියන්නියට අකුරු කරන්න පින නැත.මොකද ඔහු මිය යද්දිත් මේ ලියන්නිය ඉපදිලාවත් නැත).

අතීත කතාව..

මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ මිනිසුන් තමන්ගේ මූලික අඩිතාලම දමන්නේ ගුවන් විදුලියෙන්ය. ප්‍රේම්ටද ඒක අමුතු දෙයක් වුණේ නැත. වයස අවුරුදු 10 වෙද්දි ඔහු ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට සහභාගි වී 1961 දී ගුවන් විදුලියේ ළමා ශිල්පී පරීක්ෂණයෙන් සමත් වන ප්‍රේම් 1966 දී විකට වැඩසටහන් ශිල්පි පරීක්ෂණයෙන් ද සමත් වෙයි. 1967 දී සහන නිවේදකයෙකු විදියට පත් වන ප්‍රේම් 1971 දින ගුවන් විදුලියේ ස්ථිර නිවේදකයකු ලෙස පත් වන්නේය. මේ යන ගමනේදී 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදකවරයෙකු ලෙසද 1975 දි ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පත් වන්නේය.

මේ කිව්වේ ප්‍රේම්ගේ ගුවන්විදුලි සම්ප්‍රාප්තිය ගැනය. ප්‍රේම් මුලින් ම ගුවන් විදුලියට එන්නේ සිංදු කියන්නටය. ප්‍රේම් ගේ සිංදු අසා සතුටට පත් නොවූ තැන ඔහුව සමූහ ගායනයට යොමු විය. හැබැයි කිසිදා ඔහුට සිංදු නම් කියන්නට ලැබුණේ නැත. මෙහෙම යද්දී ප්‍රේම්ව මුලින් හඳුනාගන්නේ කරුණාරත්න අබේසේකරයන් ය.

ඒ වෙද්දි ගුවන් විදුලියේ සිටි පතාක යෝධයෙක් වන කරුණාරත්න අබේසේකර හෙවත් කරු අයියා “ තමුසේ කියන සිංදුවකුත් නෑනෙ ඒ නිසා මෙන්න මේ පිටපතක්වත් කියවන්න එනවා කියමින් ප්‍රේම්ව තමන් වෙත ඈඳා ගන්නේ ය. ප්‍රේම්ගේ මොකක්දෝ එකක් තියෙනවා කියා හොයා ගන්නේය. ඒ නිසාම 1961 දී කරු අයියා ගේ ළමා වැඩසටහනකදී හඳුනා ගත් මේ අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබයි. එතනින් ප්‍රේමකීර්ති 1966 දී පියාගේ මඟපෙන්වීම අනුව “දවස” පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ “විසිතුර” පුවත්පතට එක්‌ වෙයි.

එය ගුවන් විදුලි සම්ප්‍රදාය ලෙහෙසියෙන් කඩා බිඳ දාන්න අමාරු කාලයක්ය . ඒ කාලයේ හැම කෙනෙක් ම බැලුවේ අනිත් අය යන අතට ගොස්, තමන්ගේ ප්‍රධානියා හෝ වෙනත් කිසිවෙක් කැමති දේ කරමින් කෙසේ හෝ පැළවෙන්නටය. ඒ පැළවීමෙන් ඔවුන් හිතුවේ තමන් ට දිගු ගමනක් යන්න පුළුවන් කියලාය. (එහෙම අය අදත් නැතුවාම නොවෙයි).

හැබැයි ප්‍රේම් කියන්නේ එහෙම කෙනෙක් නොවේය. ප්‍රේම්ට තමන් කරන කියන දේවල්වල වෙනසක් අවශ්‍ය විය. ඒ නිසා මේ පූජනීය විදියට සළකපු ගුවන් විදුලියේ සම්මතය ඩෝං ගාලා කුඩු පට්ටම් කරන්න ප්‍රේම් ගේ නිර්මාණ, කළ කී දේවල් ඉවහල් විය. ඇත්තම කිව්වොත් ප්‍රේම් ඒක හිතාමතා කළ දෙයක් නොවේය. හැබැයි ඒ ප්‍රේම්ය..

මේ සම්මතය බිඳ දැමීම කියන දේට ඒ කාලයේ සිටි ප්‍රබුද්ධ යැයි කියා ගත් මිනිස්සු පොඩ්ඩක්වත් කැමති වුණේ නැත. ඒ නිසාම ප්‍රේම් ට 12 වතාවක් වැඩ තහනම් කිරීම් සහ දඬුවම් මාරු ලැබුණි. ඇතැම් කාරණා දේශපාලනික බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැත. (මේවා නම් හැමෝම දන්න කාරණාය, ඒත් නොලියාම බැරි නිසා ලිවිය යුතුය). ප්‍රේම් තමන්ගේ දඬුවම් මාරු සහ වැඩ තහනම් කිරීම් ආදරයෙන් පිළිගත්තේය. මේ සිද්ධියට අප මුහුණ දුන්නේ නම් කරන්නේ කුමක්ද? එක්කෝ අපිව මාරු කරන මිනිහාට විරුද්ධව ලියුමක් ලියන්නේ ය. නැත්නම් මේ මාරු කරන හැටියට වෙන රස්සාවක් හොයා ගන්නේය. නැත්නම් පළි ගන්නේය. ප්‍රේම් කළේ කුමක්ද? ප්‍රේම් මේකෙන් තෝරා ගත්තේ “පළි ගැනීමය“. මිනිස්සු පළි ගන්නේ මහා අමුතු ක්‍රමවලටය. එක්කෝ ගහ මරා ගන්නේය. හැබැයි ප්‍රේම් පළි ගත්තේ මහා අමුතු විදියටය.

ප්‍රේම්ට ලස්සන ආයුධ ටිකක් තිබුණේය.

අවුරුදු 10 ඉඳලාම පුරුදු පුහුණු කරපු සටන් ක්‍රම ටිකක් තිබුණේය. ගුවන් විදුලියේ පතාක යෝධයන් ඇසුරෙන් ලබපු ගුරු මුෂ්ටි ටිකක්ය. ඒ සේරම එකතු කර ප්‍රේම් ලස්සනට මේ හැම තරඟයකම වීරයා වුණේය. ප්‍රේම් ව ගුවන්විදුලියේ හැම ප්‍රාදේශිය සේවාවකටම යැව්වේය. කොළඹින් රජරටට, රුහුණු සේවය, යාපනයට ගිය හැමතැනකම ප්‍රේම් තමන්ගේ සළකුණ සදාතනික සිහිවටනයක් විදියට තියන්න අමතක කළේ නැත. යන යන තැන මොකක් හෝ හිතුවක්කාර වැඩක් කළ ප්‍රේම් ගේ අතින් මේ කාල සීමාවන් තුළ අපූරු ගීත නිර්මාණ ලියැවෙන්නේය.

ලොකුම හිනාව චිත්‍රපටයට ජෝතිපාල වෙනුවෙන් ගීයක් රචනා කළ ප්‍රේමකීර්ති ගේ ගමනට එවකට නැගී එන ගීත රචකයෙකු විසින් දැමූ කැපිල්ලකට ප්‍රේම් පිළිතුරු දුන්නේ ෆ්‍රෙඩී සිල්වා ට “ පාන්කිරිත්තා“ ගීතය ලිවීමෙනි. අනුන්ගේ දේවල් ගැන විවේචනය නොකර තමන් කරන දේ හරියට කියපන් කියා ප්‍රේම් මේ ගීයෙන් ඒ රචකයාට නොකියා කිව්වේය. ශනිදා සාදය, අඳුන, සැරිසර පුවත් සඟරාව, සොඳුරු සෙවණ වගේ වැඩසටහන් ගැන අදටත් කතා වෙන්නේ ප්‍රේම් අනුන් කරන දේ ගණන් නොගෙන තමන් ගේ දේවල් හරි හැටියට කළ නිසා බව මෙහිලා සඳහන් කළ යුතුමය.

නිර්මාණ..

ප්‍රේම් ජීවත් වුණේ අවුරුදු 42 ක්‌ තරම් කෙටි කාලයක්ය. ඒ කාලය තුළ ගීත 1600ට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති ගේ පළමු ගීය “හද පුද අසුනේ සෙනෙහස මැවුණේ” ගීතයයි. ප්‍රේම් මේ ගීය රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (පසුව නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. 1969 වසරේදීම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ “ලොකුම හිනාව” චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ විදියට “පරණ කෝට්‌” ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක් පසුබිම් ගීත රචනා කරන්නේය.

“ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ තියෙනවා” මේ ප්‍රේම් කියූ අදහසක්ය. අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ වගේම යක්කඩුවේ හාමුදුරුවෝ උදාහරණයට ගනිමින් මේ උපහාස සාහිත්‍යයට ප්‍රේම් ප්‍රවිශ්ඨ වන්නේය. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ‍‍ෆ්‍රෙඩී සිල්වා ගායනා කළ, “අලුත් කලාවක්‌”, “ආරොන් මාමා”,පාන්කිරිත්තා”, “නෑදෑයෝ”, “හඳ මාමා”, “කැකිල්ලේ රජ්ජුරුවෝ”, “කුණ්‌ඩුමනී”, “තේ කූඩය පිටේ බැඳන්” හා මුලින් සඳහන් කළ “පරණ කෝට්‌” ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා වන්නේ අපේ මේ කතානායකයාය.

දරුවන් වෙනුවෙන් ප්‍රේම් ලියූ ගී අදටද අපි අසන්නේ ඇතැම් විට මේ අකුරුවල අයිතිකරුවා ප්‍රේමකීර්ති ද අල්විස් නම් පුද්ගලයා බව නොදැන විය හැකිය. ප්‍රේම් නිකන්ම නිකම් කසිකබල් වදන් ළමා ගී සාහිත්‍යයට එක් කළේ නැත. ඉතාම සුමට, සරල හා සුගම වදන් භාවිත කළ ප්‍රේම් ඒ ගී තුළින් ළමා පරපුරට විවිධ උපදෙස් ලබා දුන්නේ ය. කිසිම දෙයක් බෑ කියලා කරන්න එපා කියූ ප්‍රේම් ටයිටස්‌ තොටවත්තයන් හඬ ගැන්වූ “දොස්‌තර හොඳහිත” වෙනුවෙන් රචිත “බෑ කියලා බැරිය මලේ” ගීය රචනා කරන්නේය. රූපවාහිනියේ “ශනිදා සාදය” හා “අඳුන” තුළින් ද දරුවන්ට ඇමතීම බොහෝ විට ඔහු සිදු කළේය. “කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ”, “පුංචි පන්තිවල”, “රූං පෙත්ත කැරකෙනවා”, සුරංගීට දුක හිතුනා”, “සමනළයා මල හා ළමයා”, වැනි ගීත ද “මා එක්‌කලා අමනාපව වී දබර” වැනි ගීත ද ප්‍රේම් ගේ පන්හිඳෙන් ලියැවුණු ගීතය.

වර්තමාන කතාව

මට දැන් හොඳටෝම හතිය. ඒ ප්‍රේම් ගැන ලිවීමට තිබෙන ගීත කන්දරාව දකින විටය. තවත් නම් ලියන්නට බැරිය. මෙය එක දිගට කියවාගෙන එන විට තවදුරටත් මම මේ සටහනේ ප්‍රේම් ලියූ ගී ගැන ලියාවි යැයි කියවන ඔබ සිතන්නට ඇත. මම එය දනිමි. ඒ නිසාම මා එසේ නොකරමි. ලංකාවේ මිනිස්සු කවුරුන් හෝ දෙන දෙයක් දෙස බලාගෙන සිටින්නට දක්ෂයෝය. ඒ නිසා ඉතිරිය සොයන්නට මේ ලිපිය කියවන නුඹලාට භාර කරන්නෙමි (ප්‍රේම් ගේ මග යන්නවුන් එම යුතුකම ඉටු කළ යුතුය)

ප්‍රේමකීර්ති ගැන ඔහු උපන් දිනයට හා ඔහුව මරා දැමූ දිනයට මුහුණු පොතේ සටහන් දමන්නෝ බොහෝ ය. එය මහා මායාවක් කියා මට සිතේ. මන්ද ප්‍රේම් යනු එක දවසකට සීමා කළ හැකි පුද්ගලයෙක් නොවේ. ඊටත් ලිපියකින් ලියා ඉවර කළ හැකි මිනිහෙකු නොවේ. මේ මහා පොළොව මත පහළ වූ දුර්ලභ මිනිසෙක් ලෙස ප්‍රේම්ව හඳුන්වා දිය හැකිය. ප්‍රේමකීර්ති කට්ට මිනිහෙක් ය. සිංදුවක් ලියන්න බැරි වෙන වෙලාවට එය ලියන්නට බැරි වුණා යැයි ඔහු නොකියයි. ඒ වේලාවට අහළ පහළ සිටින්නේ කවුදැයි විපරම් කරන ප්‍රේම් ළඟ තිබෙන දෙයක් ගැන හෝ ලියන්නට සිතයි. සිගරට්ටුවක් දල්වාගෙන එය ඉවර වෙන වෙලාව වන විට ඔහු ගීය ලියා අහවරය. බස් ටිකට්ටුව ද ගීයක් ලියන්නට කදිම තැනක් විය. ප්‍රේම් ගේ ගීපද රචනා නිර්මාණය ක්ෂණික නූඩ්ල්ස් වැනිය. හැබැයි ඒවායේ රස මිස වස නැත.

සමෝධානය

අද මාධ්‍ය ලෝකයට එන ප්‍රේමකීර්ති පරපුරේ නවකයන් ට (අප වැන්නන්ට) අමතක වන එක දෙයකි. එනම් සන්නිවේදකයෙකු යනු රූපවාහිනියේ මුහුණ පෙන්වීම හෝ වැඩි වාර ගණනාවක් වැඩසටහනක පෙනී සිටින පුද්ගලයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් නොවේය යන්නය. ඔව්, ඒ අරුතින් ගත් විට එය නිවැරදිය. මන්ද එවැන්නන්ට අද සමාජය ලබා දෙන තැන වැඩිය. එහෙත් මාධ්‍යවේදියෙක් වීම ලෙහෙසි පහසු නොවන්නේ ප්‍රේමකිර්තිලා වැන්නන් කළ කී දෑ දෙස බලන විටය.

ප්‍රේම් අලුත් අලුත් දෑ ගවේෂණය කළේය. නව මානයන් සොයා ගියේ ය. අත්හදා බැලුවේය. සම්මතය බින්දේ ය. ඊට ඔහු ට මේ රටේ ලැබුණු සම්මානය කටට වෙඩි තබා ඝාතනය කිරිමය. ජීවත්ව සිටිද්දී නොලද සම්මාන අද ප්‍රේම්ට ලැබෙන්නේ ය. ඔහු මහා පොරක් ලෙස කතා කරන ඇතැමුන් අද ප්‍රේම් සිටියා නම් ඒ මනුස්සයාව නොමරා මරනු ඇත. මන්ද ප්‍රේම් යනු මහා වැඩ්ඩෙක් නිසා ය. ඔහුගේ පොරත්වයට ළඟා වීමට අදටද කිසිවෙක් නොමැත. පෙනෙන මානයකවත් එහෙම කෙනෙක් නැත. එහෙත් එවන් මිනිසුන් තැනීමේ වගකීම ප්‍රවීනයන් ගේ කර මත පැවරී ඇති වගකීමක්ය. පොඩි එකෙක් මොකක් හෝ කරන විට  ජීවිතයම එපා වන සේ හැසිරෙන ලොක්කන් නොවී පොඩි වුන්ට අත දී මේ පාරෙන් වරෙල්ලා‘යි කියන ලොක්කන් අපට අවශ්‍යය වී තිබේ. කරු අයියලා වැනි මිනිසුන් ප්‍රේම් ගේ හැකියාව අල්ලා නොගත්තා නම් ප්‍රේම් සමූහ ගී ගය ගයා ගුවන් විදුලියේ ම මිය යනු නියතය. එහෙනම් ඔහු අදටත් ජීවතුන් අතරය.

ආදරයේ උල්පත වූ අම්මා වැනි ගීත රචනා කළ ප්‍රේම් ගේ මුවට වෙඩි තබන්නට මව්කුසකින් උපන් මිනිසෙකුට පුළුවන්ද කියා මා නොඅසමි. නිවැරදි අහිංසක මිනිසෙකු ඝාතනය කළ සමාජය ගැන ඇති වූ කළ කිරීම විස්මය හා කම්පනයෙන් යුතුව, ධර්මසිරි ගමගේ නම් අපූරු මිනිසා ප්‍රේමකීර්ති ද අල්විස් ගැන තැබූ සටහනකින් ලිපිය අවසන් කරමි.

“ කවියෙකුගේ ජීවිත පුෂ්පය – රුදුරු වෙඩි පහරකින් මිලාන විය

මල් පෙත්තක් බඳු ඔහුගේ හදවත – සිදුරු වූ පුවත අසා

අපි අඳුරු රැය පහන් වනතුරු – කඳුළු සැළුවෙමු..

පසුදා අළුයම හෝමාගම රෝහලේ

සිමෙන්ති බංකුවක් මත ඔහු වැතිර සිටියේය.

නළ දත ඉතිරිවන සේ මුවට වෙඩි තබා තිබුණි..

දෑස් පියවුණිද ඒ සිනහව මරණයට උදුරාගත නොහැකි විය..

නොමරන ලෙස දෙඅත් එකතු කරන විට

අත් දෙකට හානි වන සේ වෙඩිල්ලකුත්,

මුවට ගිනි අවිය තබා තවත් වෙඩිල්ලකුත්

පපුවේ හරි මැදට පපුව පසාරු වී යන්නට

තවත් වෙඩිල්ලකුත් තබා තිබුණි….“     

සම්මතය බිඳ දැමූ ප්‍රේම් 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් වැඩ තහනමට ලක් වන්නේ ඔහු  “ශ්‍රී    ලංකාකාරයෙක් කියා ය. ඒ ප්‍රේමකීර්තිවම 1989 අද වැනි දවසක මහ රෑ මරා දමන්නේ ඔහු යූ.ඇන්.පී කාරයෙක් කියා ය.

 

– සුපුන් භාග්‍යා වීරකෝන් –   

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2018 19:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo