අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් පමණ තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ අනුව ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවීම සදහා දැනටමත් සැලසුම් කර ඇති බව ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඊයේ (28), තලල්ල ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දී පැවති ඉදිකිරීම් ක්ෂේත්රයේ ආරම්භක පුහුණු වැඩසටහන් උත්සවයට සහභාගී වෙමිනි.
” අද දවසේ මේ ආයතනයේ දී දකුණු පළාතෙන් තෝරා ගත්ත තරුණ තරුණියන් 60 දෙනෙක්ට වෑද්දුම් කටයුතු, වඩුවැඩ සහ මේසන් වැඩ පිළිබඳ වෘත්තීයවල සිව් මාසික පුහුණුවක් ආරම්භ කෙරෙනවා. මේ පුහුණුව ලබන සියලු දෙනාට රජය විසින් රු. මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් මේ කාලය තුළ දී වියදම් කරනවා. ඊට අමතරව ජර්මානු රජයේ ආධාර යටතේ GIZ ආයතනය මේ සියලු දෙනාටම තමන්ගේ වෘත්තීය කටයුතු නොකඩවා කරගෙන යාමට උපකරණ කට්ටල, ඇඳුම් පැළඳුම් ඇතුළු අනෙකුත් සහය ලබාදෙනවා.
මේ වැඩසටහනේ අරමුණ දවස් 120 කින් දක්ෂ පුහුණු ශිල්පියෙකු නිර්මාණය කිරීම බව වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රයේවිශාල වර්ධනයක් ඇතිවෙමින් තියෙන මේ අවස්ථාවේ රට තුළ දක්ෂ වගේම පුහුණු සේවක පිරිසක් රට තුළ බිහිකරගැනීම ඉතාම කාලෝචිත බව මං කියන්න කැමතියි.
වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නෙ 25000ක පිරිසක් විතරයි. මේක ඒ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. පිරිසක් විදේශ ගත වෙනවා. තවත් පිරිසක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ඇතුළු වෙනවා. තවත් පිරිසක් කලකිරීමෙන් සමාජ ගත වෙනවා.විශේෂයෙන්ම අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් විතර තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථාව මෙවැනි පුහුණු වැඩමුළු තුළින් තවතවත් පුළුල් වෙනවා. ඔවුන්ට අභිමානයක් ඇතුව වෘත්තීය සේවයක් ලබාදෙමින් හොඳ ආදායමක් මෙතුළින් ලැබෙනවා.
පසුගිය නොවැම්බර් මාසයේ මම පාර්ලිමේන්තුවේ දී අයවැය කථාව ඉදිරිපත් කරමින් කියා සිටියා රටේ තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමට නම් රැකියා වෙළඳපොළ අපේක්ෂා කරන කුසලතා තියෙන තරුණ තරුණියන් සඳහා පුහුණු පාඨමාලා ආරම්භ කළ යුතුයි කියලා. අපිට මේ වැඩ කටයුතු සඳහා ජර්මන් රජයත්, ස්විස්ටර්ලන්ත රජයත් විශාල සහයෝගයක් ලබාදීමට පොරොන්දු උනා. ඒකේ ප්‍රතිඵලයක් විදියට රත්මලානේ තියෙන ජර්මන් තාක්ෂණික විද්‍යාලයට අමතරව කිලිනොච්චියේත් දැනටමත් අළුතින් තාක්ෂණ විද්‍යාලයක් ජර්මන් ආධාරවලින් පිහිටෙව්වා.
ඒ වගේම මාතර ප්‍රදේශයේ ජර්මන් රජයෙන් ලබාදෙන සහයෝගය මත තාක්ෂණ විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සිදු කරමින් තියෙනවා. 2016 වසරෙ දි ජර්මානු විදේශ අමාත්‍ය FrankSteinmeierශ්‍රී ලංකාවට ආවා. ඒ ගමනේ ප්‍රතිඵලයක් ලෙස තමයි ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකුට ජර්මනියේ නිල සංචාරයකට යන්න හැකි වුණේ. අද ඔහු ජර්මනියේ ජනාධිපතිතුමා. අපි බලාපොරොත්තු වෙනවා මේ තාක්ෂණ විද්‍යාලයේ මුල් ගල් තැබීමේ අවස්ථාවට සහභාගී කරවා ගන්නට හැකි වෙයි කියල.
ඒ විතරක් නෙමෙයි අපි ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අළුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවන්න දැනටමත් සැලසුම් කරලා ඉවරයි. මේ වර්ෂය තුළ පමණක් ඒ වෙනුවෙන් අපිඅයවැයෙන් රු. මිලියන 1000 ක් වෙන් කළා. ඉදිරියේ දී මේ අරමුදල් තවතවත් වැඩි කරමින් රටේ තාක්ෂණික අධ්‍යාපනය දියුණු කරගැනීම අපේ ප්‍රධාන මානව සම්පත් සංවර්ධන සැලැස්මයි.”