fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීවන රේස් එක දිනන්න වැඩ ඉවරවෙලා වැඩට යන්න

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2018 13:02

ජීවන රේස් එක දිනන්න වැඩ ඉවරවෙලා වැඩට යන්න

අද කාලේ වියදම් එක්ක එක රස්සාවකින් යැපෙන්න බැරි එක ගොඩ දෙනෙක්ට  තියන ප්‍රශ්නයක්. ඒ වුණත් කරගෙන යන රස්සාවට අමතරව  පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්න වෙලාවක් හොයාගන්නත් අමාරුයි. ඒ වුණත් අමතර රස්සාවක් කරන්නම අවශ්‍යනම් අපි කොහොමද ඒ වැඩේට කාල වේලාව හොයාගෙන බැලන්ස් එකේ කරගෙන යන්නෙ? ඒකට උදවුවෙන සරල උපදෙස් ටිකක් තමයි මේ…

අමතර ජොබ් එක හොඳට හිතලා තෝරගන්න

ඔයාට ඕනේ වැඩි මහන්සියක් නැතිව අමතර මුදලක් හම්බ කරගන්න නම් ඔයා දැනටමත් නිරත වෙන රැකියා ක්ෂේත්‍රයේම හරි ඔයාට පහසුවෙන්, කැමැත්තෙන් කරන්න පුලුවන් රැකියාවක් හරි හොයාගන්න එක සුදුසු වේවි. වෙනත් ක්ෂේත්‍රයක පළපුරුද්දක් ලබන්න හිතල අමතර ජොබ් එකක් කරන්න හිතනවානම් තරමක් වැඩිපුර මහන්සි වෙන්නටත්, කාලය කැප කරන්නටත් සිද්ධ වෙනවා.

 

ජොබ් දෙක අතර දුර සහ කාලය කළමනාකරණය කරගන්න

රැකියා දෙකක් කරද්දී අනිවාර්යයෙන් මේ දෙකට වෙන වෙනම කාලය වෙන්කරගැනීම හරිම වැදගත්.සෑහෙන කාලයක් මගටම නාස්ති කරගෙන, මහන්සි වෙලා දෙවැනි රැකියා ස්ථානෙට යන්න වෙනවනම් ඒක ඔයාගෙ ජීවිතේ දුෂ්කර කරාවි. ඒ වගේම මේ රස්සා දෙක අතරතුර විවේක කාලයක් තියාගන්න පුලුවන්නම් ඒක අනිවාර්යයෙන් කරන්න. නැත්නම් එක රස්සාවක් ඉවර වෙලා අනිත් අතට අනිත් රස්සාව පටන් ගන්න ගියාම ඔයාව මහන්සි වෙලා, ස්ට්‍රෙස් වෙලා ඔයාගෙ කාර්යක්ෂමතාවත් අඩුවෙන්න පුලුවන්. මේ ඔක්කොටම වඩා ජීවිතේ එපාවෙන අත්දැකීමක් වෙන්නත් පුළුවන්.

 

බොස්ට කියන්නද? එපාද?

රස්සා දෙකක් කරනවා කියන්නේ කාලය සෑහෙන හොඳට මැනේජ් කරගන්න වෙන වැඩක්. ඒ නිසා අමතර වැඩක් කරන්න වුණත් ඒකෙන් ජොබ් එක හිරවෙන්න පුළුවන්. මේකට කරන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගෙ රැකියා ස්ථාන දෙකේ බොස්ලව මේ ගැන දැනුවත් කරල තියන එක. එතකොට ඔයාට පුලුවන් ඔයාගෙ කාල වේලාව ඒ අයට දන්වල, අදාළ රැකියා වෙනුවෙන් ඔයාට වැය කරන්න පුළුවන් කාලය ගැන ඒ අයව දැනුවත් කරන්න. හැබැයි ඉතින් හැම බොස් කෙනෙක්ම නම්‍යශීලී නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන නොකියන තීරණය බොස්ගේ සහ ආයතනයේ තත්ත්වය සළකල බලල, හොඳින් කල්පනා කරලම අරගන්න.

 

සතිය කළින් ප්ලෑන් කරන්න

රස්සා දෙකක් කරනවා කියන එක කරන්නන් වාලෙ කරන්න බැහැ. සමහරවිට මේ රස්සා දෙකේම යම්කිසි වැඩක් එකම වෙලාවකට ඔයාට යෙදෙන්න පුළුවන්. එතකොට කළින් මේ ගැන දැනුවත් වෙලා හිටියෙ නැත්නම් ඔයාට වෙන්නෙ වැඩ මග ඇරලා නරක නාමයක් අහගන්න. ඒ නිසා රැකියා දෙකේම සතියේ සාමාන්‍ය වැඩ කටයුතු ටික ගැන ප්ලෑනක් ගහන්න. රස්සාව විතරක් නෙමේනෙ ජීවිතේ, ඒ නිසා ඒ දවස්වල ඔයාට නිරත වෙන්න තියන පෞද්ගලික වැඩ කටයුතු ගැනත් ප්ලෑන් කරගෙන ඉන්න. නොවැළැක්විය හැකි හේතුවක් නිසා හරි රැකියා දෙකේම වැඩක් එකම වෙලාවකට වැටුනොත් ඒ වැඩ දෙක අතරින් ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ දේ තෝරගෙන නිරත වෙන්නටත් වග බලාගන්න. මේ වැඩේදි සතියේ එක එක දවස්වලට ආදාලව ටු ඩූ ලිස්ට් (To Do List) එකක් හදාගන්න එක වැඩවලට අමතර පහසුවක් ගෙනේවි.

 

වැඩ මික්ස් කරගන්න එපා

දැන් සමහරු එකම වෙලාවට රස්සා දෙකකම වැඩ මාරුවෙන් මාරුවට කරනවා. ඔෆිස් ගිහිල්ලා පාට් ටයිම් ජොබ් එකේ වැඩ කරන අයත් ඉන්නවා. නොකරම බැරි වෙලාවක කළොත් මිසක් ඒ වැඩේ අපි එතරම්ම අනුමත කරන්නේ නැහැ. එකක් තමයි එක රැකියා ආයතනයකින් ඔයාට මුදලක් ගෙවන්නෙ අදාළ කාලය උපරිමයෙන් ඒ අය වෙනුවෙන් වැය කරන එකටයි. එතනදී ඒ කාලය සහ සම්පත් පාවිච්චි කරලා වෙන ආයතනය රැකියාවක් කරන එක එච්චරම හොඳ වැඩක් නෙමෙයි.ඒ නිසා හැකි හැම වෙලේම රැකියා වැඩ දෙකකට වෙනම කාල වේලාව වෙන් කරගෙන කරන එක තමයි වඩාත් හොඳ.

 

තමන්ටත් විවේකයක් ලබාගන්න එක අනිවාර්යයි

රස්සා දෙකක් කරන එක හරිම ස්ට්‍රෙස්ෆුල් අත්දැකීමක් වෙන්න තියන ඉඩ වැඩියි. අන්න ඒ නිසාම තමයි අඩුම තරමේ සතියට දවසක් හරි, දවසකින් සැළකිය යුතු කොටසක් හරි තමන්ගේ විවේකය වෙනුවෙන් වෙන් කරගන්න එක වටින්නෙ. ඒ වෙලාවට තමන්ගෙ රස්සාවල වැඩ සහමුලින්ම අමතක කරල දාන්නටත් වග බලාගන්න. නැත්නම් ඒ විවේකය කොලිටි එකක් වෙන එකක් නැහැ. ජොබ්වලින් එන ඊමේල්, පණිවුඩ සහ කෝල්වලින් ඈත් වෙලා ඒ කාලය ගෙවන්න බලන්න. එහෙම පණිවුඩ එක්ක ඔයාව සම්බන්ධ කරන පරිගණක, දුරකථන වලින් ඈත් වෙන්න. තමන්ගෙ ජීවිතේට වෙනසක්, සතුටක් එක් කරන, උපරිමෙන් ගෙවන මොහොතක් බවට ඒ විවේක කාලය පත් කරගන්න බලන්න. යහපත් නින්දක්  ලබන්නත් අමතක කරන්න එපා.

 

ජීවිතේ බැලන්ස් එක තියාගන්න

මේක කියන්න ලේසියි කරන්න අමාරුයි වැඩක් තමයි. ඒත් උත්සාහ කරල බැලුවොත් අපිට බැරිවෙන එකක් නැහැ. රස්සා දෙකක් කරනවා කියන්නෙ අපේ පවුලේ අයගෙන් සහ හිත මිතුරන්ගෙන් අපිට සෑහෙන ඈත්වෙන්න සිද්ධ වෙන තත්ත්වයක්. ඒ නිසා හැකි සෑම විටම ඒ අයත් එක්ක සම්බන්ධතාව පොඩියට හරි තියාගන්න එක වටිනවා. විවේක වෙලාවෙදි ගෙදර අයට පොඩි කෝල් එකක් දෙන්න, කෙටි පණිවුඩයක් යවන්න, යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න අමතක කරන්න එපා. මුහුණට මුහුණ මුණ නොගැහුණත් ඒ අයත් එක්ක ඒ විදිහට හරි සම්බන්ධතාව තියාගන්න. ශාරීරක සුවතාව කියන එකත් අනිවා මගහැරෙන සාධකයක් මෙහෙම රස්සා දෙකක් කරද්දි. අන්න ඒ නිසා ලන්ච් බ්‍රේක් එකේදි, තේ වෙලාවෙදි අහල පහල කඩයකටවත් පොඩි වෝක් එකක් දාන්න බලන්න. ඔෆිස් එද්දි ලිෆ්ට් එක වෙනුවට පඩිපෙල පාවිච්චි කරනවා වගේ ටිකක් ඇඟ මහන්සි කරවන විදිහෙ වෙනස්කම්වලටත් යොමුවෙන්න.

 

උදවු ගන්න පුළුවන් අයගෙන් උදවු ගන්න

රැකියා දෙකක නිරත වෙනවානම් ඔයාට ඔයාගෙ සැමියාගෙන්/බිරිඳගෙන්, දරුවන්ගෙන්, ගෙදර ඉන්න අයගෙන් සහයක් අවශ්‍යයි. ඒ අයට සුළු සුළු ගෙදර වැඩ බෙදා දෙන්න. එළවලු ටිකක් සුද්ද කරල තියන එක, වොෂින් මැෂින් එකකට රෙදි ටිකක් දාන එක, ගේ දොර අස්පස් කරන එක වගේ වැඩ ස්වාමි පුරුෂයට වගේම දරුවන්ටත් කරන්න පුලුවන් දේවල්නෙ.

 

අරමුණ පැහැදිලි නම් අවුලක් නැ

ඇයි අපි අමතර රස්සාවක් කරන්නෙ? මොකක් හරි පෞද්ගලික උවමනාවකට මුදලක් එකතු කරගන්නද? එහෙමත් නැත්නම් විය හියදම් සැර නිසා මාසෙ ආදායම වැඩි කරගන්නද? යම්කිසි අමතර සුදුසුකමක් සපුරා ගන්නද?

මේ මොන දේ වෙනුවෙන් අපි රැකියා දෙකක නිරත වුණත්, ජීවිතේ පුරාවටම දවසින් වැඩි කාලයක් වැඩ කරමින්, පෞද්ගලික ජීවිතයට ඇති ඉඩ අඩු කරගනිමින් ජීවත් වෙන එකට අපි එකඟ නැහැ. අමතර රැකියාවක් කරන එකෙන් ඔයා ඉටු කරගන්න හදන අරමුණ ඉටු කරගන්නා තෙක් විතරක් ඒ රැකියාවෙ නිරත වෙන එක වඩාත් සුදුසු බව තමයි අපේ හැඟීම. නැත්නම් ඔයත් ජීවිත රේස් එක දුවලා අන්තිමට නටපු නැටුමකුත් නැතිව බෙරේ පළුවකුත් නැතිව හතිවැටුණ තවත් එක්කෙනෙක් වෙන්න ඉඩ තියනවා.

සුදුසුකම් සපුරාගන්න, පළපුරුද්ද ලබාගන්න, ඒ අනුව වටිනාකම හදාගන්න. ජීවිතේ බැලන්ස් එක තියාගන්න ගමන්ම වෘත්තීයමය වශයෙන් සාර්ථක පුද්ගලයෙක් වෙන්න උත්සාහ කරන්න…

 

-ශානිකා රත්නායක-

 

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2018 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්