මහා පරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු විභාග කිරීමට නියමිත පළමු විශේෂ මහාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත පළමු නඩුව නීතිපතිවරයා එම අධිකරණයේ දී අද (26) ගොණු කළා. පළමුව ගොණු කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහි රුපියල් මිලියන 500ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධ නඩුවයි. රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය මෙහි සෙසු සැකකරුවන් වනවා. ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩුව ගොණුකර තිබෙන්නේ. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපල පනත, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිචෝදනා ගොණුකර තිබෙනවා.
දැනට මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පළමු විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙසට කටයුතු කරනවා. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ 3ක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා.