ලබන ඔක්තෝම්බර් මාසයේ අවසානයට පෙර නිගමනයකට පැමිණිය හොත් ජනවාරි පස් වනදා පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකිවනු ඇති බවට මැතිවරණ කොමිෂන් සභාවේ හා සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපතිවරුන් විශ්වාසය පළකරනවා.
පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද(20) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට එක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ පිළිබද කරුණු දැක්වුවා.
මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා කියා සිටියේ නිසි කලට ඡන්ද විමසීම පැවැත්වීම සිදු කළ යුතු බවයි. මනාප ක්‍රමයෙන් බැහැරවූ තම කොට්ඨාශයට වග කියන මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ අවශ්‍යතාව පොදු ජනතාව හා සිවිල් සංවිධාන පෙන්වා දී තිබෙනවා. කුමන ක්‍රමයක් යටතේ ඡන්දය පැවැත්වුවද මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වැඩි කිරීම ජනතාව අනුමත කරන්නේ නැති බවද කතානායකවරයා කියා සිටියා. එමෙන්ම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව සමාලෝචන කමිටුවක් පත් කිරීමට කතානායකවරයා මෙහිදී පියවර ගත්තා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට විපක්ෂ නායක ආර් සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළත් වනවා. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සීමා නිර්ණ කොමිසන් සභාවේ සභාපති කේ. තවලිංගම් යන මහත්වරුන් ද කමිටුවේ සමාජිකයන් වනවා.