ගාල්ල ලෝක උරුමය ආරක්ෂා කරගැනීමට නම් ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ඉදි කර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් ඒ අනුව ගාල්ල ක්‍රීඩංගනය රැකගනිමින් ගාල්ල ලෝක උරුමයත් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතු බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ගාලු කොටුවේ පවතින ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළ ට ගෙන යෑමට ලෝක උරුම අටක් ඉවහල් වී තිබෙනවා. අනුරාධපුර,පොළොන්නරුව, දඹුල්ල, ගාලු කොටුව, සීගිරිය,යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. යුනෙස්කෝ ආයතනය නීති රීති රෙගුලාසි පද්ධතියක් තිබෙනවා. ඒවා උල්ලංඝණය කළොත් ඒවා ලැයිස්තුවෙන් කපා හරිනවා. අවදානම තිබෙන ස්ථාන තුනක් ගැන යුනෙස්කෝව ප්‍රකාශ කර තිබෙනවා. ගාලු උරුමය, දඹුල්ල හා සිංහ රාජ වනාන්තරය එම ස්ථාන තුනයි. ගාලු ක්‍රීඩාංගනය කරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ ගැටළුවක් තිබෙනව. ගාලු නගරය සුනාමියෙන් පසු නගර සැලසුමක් නිර්මාණය කරලා අනුමත කර තිබුණා. දැන් ප්රශ්නය මතු වී තිබෙන්නේ අනවසර ඉදිකිරීම් පිළිබඳවයි. යුනෙස්කෝව ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ගහන්න එපා කියන්නේ නෑ. එය හිස් අවකාශයට නිදහස් කරන්න කියලා තිබෙනවා.
යුනෙස්කො සංවිධානය දිගින් දිගටම දැනුම් දී තිබෙනවා. එහි ස්ථාවරය වෙනස් වී නෑ. සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්න කිව්වා. ඉන් පසු රජයේ ස්ථාවරය ප්‍රකාශ කරන්නම්. කොග්ගල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම උචිත කාරණයක්. ගාල්ලේ අනවසර ගොඩනගිලි ඉවත් කරලා, ගාල්ලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ආරක්ෂා කරගෙන, ලෝක උරුමය රැකගැනීමට ක්‍රියා කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නැතැයි තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා ද අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර ක්‍රීඩාපිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ. ගොඩනැගිල්ල පිළිබඳ ප්රශ්නය ඉවත් කරගන්නේ කෙසේද කියලා බලන්න ඕන. කොග්ගල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ගැන සැලැස්මක් තිබෙනවා. ගාල්ල නගරය මැද තිබෙන ක්‍රීඩා පිටිය ඉවත් කිරීමේ සැලැස්මක් නෑ.
ක්‍රීඩා අමාත්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා –
ගාලු ක්‍රීඩාංගනය දැන් දේශපාලන පිටියක් කරගෙන. අපේ ලෝක උරුමය අපි ආරක්ෂා කරගත යුතුයි. අමාත්‍යාංශය කමිටුවක් පත් කළා. ක්‍රිකට් කණ්ඩායම මේ ක්‍රීඩාංගනයේ හොඳින් ක්‍රීඩා කර තිබෙනවා. රටට සුබදායි තීරණයක් ගමු.
අමාත්‍ය අර්ජුන රණතුංග මහතා-
මේ ගොඩනැගිලි හදන්න එපා කිව්වා. ක්‍රීඩාංගනයේ අනවශ්‍ය ගොඩනැගිලි කඩන්න කිව්වා. ගාල්ලේ ක්‍රීඩා කරන්නේ අවම වශයෙන් තරඟ දෙකයි. අලුත් තාක්ෂණය ගෙනත්, ක්‍රමයක් හදාගෙන සාකච්ඡා කර ඉදිරියට ගෙන යමු.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා-
මේ ක්‍රීඩාංගනය අවශ්‍ය ක්‍රීඩාංගනයක්. ශ්‍රී ලාංකා කණ්ඩායමට වාසානාවන්ත ක්‍රීඩාංගනයක්.