fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට රජය කැපවී සිටින බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 16:25

වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට රජය කැපවී සිටින බව ජනපති පවසයි

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමූඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32% දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ විශේෂ දේශනය සිදුකරමිනි.

සමුළුව රෝමයේ පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේදී අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි. සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ වනාන්තරවලින් මිනිසාට සමාජ, ආර්ථීක ප්‍රතිලාභ රැසක් උදාවන අතර ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මානුෂිය අවශ්‍යතා සපුරාලන වන පද්ධතිය තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් බවයි.

ඒ සඳහා පුළුල් සංවාදයකට සහ තීන්දු තීරණ ගැනීමට හොඳම වේදිකාව මෙම ලෝක වන සංරක්ෂණ කමිටුව බව පැවසූ ජනාධිපතිතුමා එය ඉදිරියේ ඇති න්‍යාය පත්‍රය ඉතා සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුව ද, ඒවා ජය ගැනීම සඳහා සියලූ සාමාජික රටවල් සාමුහිකව කැපවිය යුතු බව ද අවධාරණ්‍ය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශතවර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ තිබූ 50%කට වැඩි වන ආවරණය වර්තමානය වන විට සියයට 29% දක්වා පහතට පැමිණ ඇති බවයි. විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස ඉදිකිරීම සඳහා ඉඩම් භාවිතය හේතුවෙන් මෙම වන ආවරණය අහිමිවී ඇති අතර, මේ හේතුවෙන් දැඩි පාරිසරික උවදුරුවලට මුහුණ දීමට සිදුව තිඛෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වනාන්තර ප්‍රතිරෝපණය රජයේ ප්‍රධාන වගකීමක් ලෙස ඉටුකරන අතර 2020 වන විට පැළ මිලියන 5 ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහත හෙළීම තහනම් කිරීම, සෑම පාසල් දරුවෙකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට එක්සත් ජාතින්ගේ අහාර හා කෘෂිකර්ම සංවිධානය නිරන්තයෙන් ලබාදෙන සහය පිළිබඳ ස්තූතියි පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙම සමුළුව සංවිධානය කරයි.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් José Graziano da Silva මහතා මෙම සමුළුව අමතමින් කියා සිටියේ සාමාජික රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහය දැක්වීම තම සංවිධානයේ අරමුණ බවයි.

ලෝක වන සංරක්ෂණ කමිටුව සඳහා තිර න්‍යාය පත්‍රයක් 2016 වසරේදී හදුන්වාදෙනු ලැබු අතර එම වැඩසටහන්වල ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් එම අරමුණු ජය ගැනීම සඳහා සාමාජික රටවලට ලබාදියහැකි සියලූ සහය ලබාදෙන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් දැඩි කැපකිරීමකින් සහ ඕනෑකමකින් කටයුතු කරන නායකයෙකු ලෙස මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක්විය.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2018 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo