ඉතිහාසයට වාර්තා රැසක් එක් කරමින් 21 වන පාපන්දු ලෝක කුසලානයේ පහස දෙවන වරටත් විඳ ගැනීමට ප්‍රංශය සමත්වුණා. ඒ ගෝල 04ට 02ක් ලෙස තරගාවලියේ වාසනාවන්තම කණ්ඩායම ලෙස සැලකූ ක්‍රොඒෂියාව පරාජයට පත් කරමින්. රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුණේ ප්රංශයයි. ඒ ක්‍රොඒෂියා ක්‍රීඩක මාරියෝගේ අත්වැරදීමකින් පන්දුව ගෝලය වෙත යාමත් සමගයි. අනතුරුව තරගයේ 28 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් එකට එක කිරීමට ක්‍රොඒෂියාව සමත් වුණා.
යළිත් ක්‍රොඒෂියා ක්‍රීඩකයෙකුගේ අතේ පන්දුව වැදීම හේතුවෙන් ප්‍රංශයට නිදහස් දඩුවම් පහරක් ලබා දුන්නා. එය සාර්ථක කර ගනිමින් පළමු අර්ධය නිමාවන විට ප්‍රංශය ගෝල 02 ක් ලබා ගත්තා. එම ගෝල දෙකම ප්‍රතිවාදී ක්‍රොඒෂියා ක්‍රීඩකයින්ගෙන් සිදු වූ අත්වැරදීම් හේතුවෙන් ලබාගත් ගෝල වීම කැපී පෙනුණා. පළමු අර්ධය නිමාවන විට ක්‍රොඒෂියාවට ලබා ගත හැකි වුණේ එක් ගෝලයක් පමණයි. අනතුරුව ආක්‍රමණශීලී හා සැලසුම් සහගත තරග රටාවක නිතර වෙමින් ප්‍රංශය ජයග්‍රහණය කරා ගමන් කළා. තරගය නිමා වන විට ගෝල 04ක් ප්‍රංශය ලබා ගනිද්දී ගෝල 02 ක් පමණයි ක්‍රොඒෂියාවට ලබාගත හැකි වුණේ.
අවසන් තරගයේ අවසන් ගෝලය පළමු ගෝලය අත්වැරදීමක් සිදු වූ ක්‍රොඒෂියා ක්‍රීඩක මාරියෝ ලබා ගැනීම කැපී පෙනුණා. මේ අනුව අත්වැරදීමකින් ගෝලයක් හා තමා විසින්ම ගෝලයක් වාර්තා කළ ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඉතිහාසයට එක්වුණා. මෙවැනි සිදුවීමක් ලෝක කුසලාන තරගාවලියක සිදුව ඇත්තේ 1978 වසරෙන් පසුවයි. 1970 වසරෙන් පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයේදී කණ්ඩායමක් ගෝල 04 ක් ලබා ගැනීම කැපී පෙනුණා. ප්‍රංශයේ එම ජයග්‍රහණයට දායකත්වය දැක්වූ එරට ප්‍රධාන පුහුණුකරු ඩෙස් චෑම්ප් මීට වසර 20 කට පෙර නායකයා ලෙස එම කණ්ඩායමට පාපන්දු ලෝක කුසලානය දිනා දීමට ද දායකත්වය දැක්වීම විශේෂත්වයක්. තරගාවලියේ ජය සංකේත ප්රදානය කිරීමේ අවස්ථාවට ක්‍රොඒෂියා ජනාධිපතිවරිය ප්‍රංශ ජනාධිපතිවරයාගේ අතින් අල්වා නංවා ගැනීම කාගේත් අවධානයට ලක් වූ සිදුවීමක් වුණා.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේ සත්කාරක රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වර්ෂාවෙන් බේරීමට කුඩයක් යටට වී සිටීම ද අනෙක් රාජ්‍ය නායකයින් බොහෝ වේලාවක් කුඩ නොමැතිව තෙමෙමින් සිටීමද කතා බහට ලක්ව තිබෙනවා. අවසන් මහා තරගයක ගෝලයක් වාර්තා කළ දෙවන ලාබාලතම ක්‍රීඩකයා වෙමින් ප්‍රංශ ක්‍රීඩක කේලියන් මබ්අප්පේ දක්ෂතම නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනාගත්තා. තරගාවලියේ වීරයා සම්මානයට හිමි රන් පා පන්දුව දිනා ගත්තේ ලුකා මෙඩ්රික්. මේ අතර ජයග්‍රහණයේ ප්‍රීතිය සැමරීමට එක්වූ ප්‍රංශ ප්‍රේක්ෂකයින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැරීසියේ අයිෆල් කුළුන අවට ප්‍රදේශයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුනා. ඔවුන් පාලනය කිරීම සදහා කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමටයි එරට පොලීසියට සිදු වුණේ.