ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට අවේණික වූ දෙවිවරුන් ගැන අපිට හදුනාගන්න පුළුවන්. විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි යනාදී ලෙස රට පුරාම විසිරි ගිය දේව මණ්ඩලයක් අපට ඉන්නවා. ඒ අනුව රෝහණ ප්‍රදේශය සම්පුර්ණයෙන් ම භාරව සිටින දෙවිකෙනෙකු ලෙස කතරගම දෙවියන් හදුනාගන්න පුළුවන්. ඒම දෙවියන් විශ්වාස කිරීමත් අපි ඉතා ඉහළින් සිදු කරනවා.
ප්‍රධාන වශයෙන් අපට සංකල්ප දෙකක් තියනවා. එනම් අපි විශ්වාස කරනවා අපට සරණ ලැබෙන්නේ බුදුන් වහන්සේගෙන් නමුත් පිහිට ලැබෙන්නේ දෙවියන්ගෙන් කියලා. සමස්තයක් ලෙස ගත්තහම කතරගම ප්‍රබල දෙවි කෙනෙකු සිටින බවත් මිනිසුන් තුළ විශ්වාසයක් පවතිනවා. එම දෙවියන් විසින් මිනිසුන්ගේ ආරක්ෂාව සලසන බව පොදුවේ පිළිගත් මතයක්.
කතරගම දෙවියන්ගේ වගතුග පිළිබඳ තොරතුරු ක්‍රි. පූ යුගය දක්වාම දිව යනවා. මහින්දාගමනයට පෙර අපට සංවිධානය වූ දේව විශ්වාසයක් පැවති බවට සාධක නැහැ. නමුත් අපට විවිධ ඇදහීම් ක්‍රම හා ආගම් තිබුණා. සෑම ආගමක්ම සතු වූ විවිධ ලාංඡනත් තිබුණා. ඒ වගේම විවිද පුද පූජා සම්බන්ධ කරගත් චාරිත්‍ර විධි පැවතුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/z_p02-Kataragama.jpg”]
අපට කතරගම පිළිබඳව පවතින පළමු සංසිද්ධිය තමයි අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ අවස්ථාවට කතරගම ක්ෂත්රියන් ද සහභාගි වූ බව. ක්‍රි.පූ 03 වන යුගයේ දී මහමෙවුනා උයනේ ශ්‍රී මහා බොධි රෝපණය සඳහා ඔවුන් මෙපමණ දුරක් අවේ ඇයිද යන්න සිතිය යුතුය. එහිදී එක් මතයක් තියනවා බුදුන් වහන්සේ ඔවුන්ගේ නෑයන් වූ බව. ඒ වගේම අපට හිතන්න පුළුවන් එතෙක් කලක් අවිධිමත් වූ ආගම අතරට සංවිධානාත්මක වූ බුදු දහම පැමිණීම ත් එහි පැතිරීම ත් තිබුණේ බෝධිය සමඟ වීමත් නිසා ඔවුන් පැමිණි බව. එමෙන්ම අෂ්ඨඵල බෝධීන් ප්‍රදේශ අටකට යැවූ බවත් ඉන් එකක් තමයි කතරගම රෝපණය කරන්නේ. ඒ නිසා තමයි පළමුවන ජනාවාස අතරටත් කතරගම නොහොත් කාචරගාම අයත් වෙන්නේ.
ඒ වගේම අනෙක් මතය තමයි බුද්ධත්වයෙන් 08 වැනි මස 500ක් මහරහතුන් සමඟ බුදුන් වහන්සේ කතරගමට වැඩි බව. ඒ කාලයේ එම ප්‍රදේශය කිහිරි වනයක්. එහි ප්‍රාදේශීය රජෙක් හිටියා මහසෙන් නමින්. ඔහු බුදුන් වහන්සේගෙන් පුජා වස්තු ඉල්ලා තිබෙනවා. එවිට බුදුන් වහන්සේ හිස පිරිමැද කේශ ධාතූ දුන් බවත් ඒවා නිධන් කොට කිරිවෙහෙර තැනූ බවට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා මහසෙන් රජු මරණින් පසු දේවත්වයට පත් වූ බව කියනවා. එමගින් ඇතිවූ එක් මතයක් තමයි කදිරග්රාමයෙහි ඉන්නේ බෞද්ධ ඇදහැලිවලට සම්බන්ධ වූ සිංහල බෞද්ධ රජෙකු බව.
අනෙක් මතය තමයි ස්කන්ධ කුමාර දකුණු ඉන්දියාව ආශ්‍රය කරගත් දෙවිකෙනකු බව. ඒ පිළිබඳව පුරා වෘත්තය සුරා සුර මහා සටන දක්වා දිව යනවා. බෞද්ධ සංස්කෘතිය ගත්තහම මාරාවේශ, දස අවතාර, විසි අවතාර දැක්වෙන්නේ නැහැ. ඒ අනුව මුහුණු හයක්, අත් දොළොසක් පිළිබඳ මතය ඉන්දියාව ආශ්රිත කරගත්තක් බව කියන්න පුළුවන්. ඒ නිසා කතරගම දේවියන් බෞද්ධ දෙවියකු ලෙසත් හින්දු දෙවියකු ලෙසත් හදුනාගන්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/Kataragama-descubre-Sri-lanka-asia.jpg”]
වරින් වර මෙරට විශ්වාස පද්ධතිය ගත් විට සතර මහා දෙවිවරු වෙනස්වෙලා තියනවා. මුල් කාලයේ දී අපේ නිවෙස්වල බණක් තිබෙනවා නම් දෙවිවරු 04 දෙනෙකුට අදාළව ගේ ඉදිරිපිට මණ්ඩප 04ක් හා තව එකක් වෙනම හදනවා. එහිදී ද්රෘතරාෂ්ඨ,විරෑඪ,විරෑපාක්ෂ,වෛශ්‍යවන හා විෂ්ණු දෙවියන් වෙනුවෙන් ඒවා වෙන් කරනවා.
මහනුවර යුගය වන විට මෙය වෙනස් වෙනවා. ඒ වන විට අපට ඉතා බලගතු දෙවි කෙනෙක් පිළිබඳව තොරතුරු ලැබෙනවා. ඒ ස්කන්ධ කුමාර දෙවියන්. අපේ මහනුවර අසළ පෙරහර ගත් විට එහි පළමුවෙන්ම ගමන් කරන්නේ නාත දෙවියන්. ඒ කියන්නේ මෛත්‍රී ලෙසින් මතු බුදුවන දෙවියන් වහන්සේයි. දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දෙවියන්. තෙවනුව ගමන් කරන්නේ කතරගම දෙවියන්. ඒ කියන්නේ යුද්ධයට අධිපති දෙවියන්. කතරගම දෙවියන්ගේ වර්ණය රතු. ඒ වගේම ඒ පෙරහර රිද්මයත් සාමකාමී මනසක් ඇති කරන්නක් නොවෙයි. ඒවා සමන්විත වන්නේ බොහෝ විට කාවඩි ආශ්‍රය කරගෙනයි. ඒ නිසා අපට කියන්න පුළුවන් කතරගම පෙරහැර බෞද්ධ ආගමික මෙන්ම හින්දු ආගමික පසුබිම මත ඉදිරිපත් කරනු ලැබූ පෙරහරක් බව.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/kataragama_festival_5.jpg”]
කතරගම පෙරහරේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. එකක් තමයි අපි සෑම පෙරහරක දී ම දෙවියන් වැඩමවීම සඳහා කප් සිටුවීම සිදුකරනවා.වෙනත් පෙරහර අරම්භයට පෙර කප් සිටුවීම සදහා භාවිත කරන්නේ කොස්, රුක්අත්තන වැනි කිරි ගසක්. නමුත් කතරගම පෙරහරේ කප් සිටුවීම සඳහා භාවිත කරන්නේ කිහිරි ලියක් වීම විශේෂත්වයක්. ඒ නිසා අපට සිතන්නට පුළුවන් මුල් කාලීන මතයට අනුව බුදුන් වහන්සේ කිහිරි වනයක වැඩසිටීම යම් ආකාරයකට සංඛේතවත් කිරීම මෙමගින් සිදුවන බව.
ඒ වගේම එම කප සිට වූ තැන කතරගම දෙවියන් වැඩ සිටිනවා ය යන්නත් විශ්වාස කරනවා. ඒ අනුව ඉන්දියානු තරුණ කාන්තාවක් මේ පෙරහරට මූලික වෙනවා. ඒ කතරගම දෙවියන්ගේ බිරිද තේවානී සම්බන්ධව ඇති පුරාවෘත්තයයි. තේවානී දෙවඟන දකුණු ඉන්දීය දෙමළ කාන්තාවක්. අදටත් ප්‍රධාන පෙරහරට අමතරව කතරගම දේවාලයේ සිට වල්ලි අම්මා දේවාලය දක්වා පෙරහරක් පවත්වනවා.
ඒ සිංහල හා හින්දු සංස්කෘතීන් දෙකම සම්බන්ධ කරගත් මෙරට ප්‍රධාන ජන වර්ග දෙකම ඇදහිය හැකි විශ්වාස පද්ධතියක් තිබෙන ජාතික සමගිය සම්බන්ධ කළ හැකි කටයුත්තක් ලෙස කතරගම දේවාලයේ කෙරෙන පූජා හදුනාගන්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/16142609646_c214d16c60_b.jpg”]
කතරගම දෙවියන් යුදයට අදිපති දෙවි කෙනෙක්. එම දෙවියන්ගෙ වෘක්ෂය ලෙස සලකන්නේ තල් ගස. වර්ණය වන්නේ රක්ත වර්ණයයි. වාහනය වන්නේ මොනරා. ඒ වගේම පළිහක්, පොතක්, කඩුවක් අංකුශයක් මුගුරක්, දුන්නක්, කුක්කුට ධජය, ශංඛය, තෝමරය අතින් ගෙන සිටිනවා. මේ ලක්ෂණවලින් අපි තේරුම් ගන්නවා මේ ඉන්නේ ස්කන්ධ කුමාර කියල. අපේ බෞද්ධ සම්ප්රදාය තුළින් ආයුද, මැරීම ආදිය පිළිගන්නේ නැහැ. මේ දෙවියන් පිළිබඳව හින්දු දේව විශ්වාසවලට අනුව සේනානි නැතහොත් සෙනාධිපති යුදයට අධිපති දෙවි කෙනෙකු ලෙස හදුනාගන්න පුළුවන්. ඒ වගේම රට පුරාම කතරගම දේවාලය කේන්ද්‍ර කරගත් උප දේවාල තිබෙනවා.
කතරගම පෙරහර ගත් විට අනෙක් පෙරහරවලින් වෙනස් වන විශේෂ ලක්ෂණයක් ලෙස නානුමුර මංගල්‍ය හදුනාගන්න පුළුවන්. ඒ වගේම අනෙක් දේවාලවලට වඩා කතරගම දේවාලයේ පුද පූජා වෙනස්. එයට හේතුව වන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් ගායනා කරන ස්තෝත්ර හා ගීත ශුංගාරත්මක බවින් වැඩි වෙනවා. එමෙන්ම යාදින්නා ද වැඩියි. එහිදී කාවඩි වර්ග 05ක් හඳුනාගන්න පුළුවන්. ඒ පරවි කාවඩිය, මත්ස්‍ය කාවඩිය කිරි කාවඩිය, ගිනි කාවඩිය හා භක්ති කාවඩිය වශයෙන්. ඒ වගේම යුද්ධයක ලක්ෂණත් මෙවයි නිරූපණය වෙනවා. එහිදී පරවි කාවඩියට අදාළ වූ කොකු ගැසීම් ආදී ශරීරයට වධදීම ද බහුලව දැකගන්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/07/991413425-kataragama-perahera-festival-kataragama-deviyo-danse-traditionnelle-uva-sri-lanka.jpg”]
පෙරහර අවසානයට දින 03කට පසුව අදාළ කප දිය කපන තොටේ වළ දමනවා. ඉන් අපේක්ෂා කරන්නේ සෞභාග්‍ය හා සශ්‍රිකත්වය කියන්න පුළුවන්. මෙහි දෙවියන්ට ම අවේනික වූ ශබ්ධ රටා පවතිනවා. හරො හරා හඬ පෙරහර පුරාම අපට අසන්න පුළුවන්.
කතරගම පෙරහරේ මූලිකම සමාජ විද්‍යාත්මක පසුබිම වන්නේ ලංකාවේ දස දිග් භාගයේ සිටින සිංහල, දෙමළ මුස්ලිම් හා ක්‍රිස්තියානි සෑම භක්තිකයකුට ම එක් විය හැකි ස්ථානයක්. ලෙස කතරගම හඳුන්වා දෙන්න පුළුවන්. එනම් ජාතීන් අතර එකමුතුකම වර්ධනය කරගනිමින් සමාන මට්ටමක සිට පුද පුජා කිරීමට හැකිවීම මෙහි ඉතා විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමයි ආගමික සහජීවනය සලසන මධ්‍යස්ථානයක් ලෙසත් කතරගම දේවාලය හදුනාගන්න පුළුවන්. ඒ නිසාම විවිධ සංස්කෘතීන් තේරුම් ගැනීමේ හැකියාවත් ද පවතිනවා.
වන්දනා ගමනක් කියන්නේ ඒක සංස්කෘතික ප්‍රදේශයක සිට තවත් සංස්කෘතික ප්‍රදේශයක් තුළ ගමන් කරමින් සාමූහික වින්දනයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන අවස්ථාවක්. එහිදී පෙරහර ඉතා වැදගත්. විශ්වාසය කෙරෙහි සාමුහික මනසක් ඇතිකර ගැනීම මෙයින් සිදුවෙනවා.
මිනිසුන් කවදාවත් දෙවියන් ඉදිරියේ දරුණු වන්නේ නැහැ ගහ මරා ගන්නේ නැහැ ඔවුන් ඉතා සාමකාමී ව එකට කටයුතු කරනවා. ඒ වගේම මෙරට විවිධ ප්‍රදේශවල විශාල ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඔවුන් තුළ කතරගම දෙවියන් පිළිබඳව ඉතා දැඩි විශ්වාසයක් පවතිනවා. ඒ වගේම කතරගම ප්‍රදේශය දියුණුවීමට ඇති ප්‍රධානතම කරුණක් ලෙස කතරගම දේවාලය ආශ්රිත පුදබිම්වලට ජනතාව පැමිණීම හඳුනාගන්න පුලුවන්. ඒ නිසාම කතරගම වාණිජමය වශයෙන් දියුණු තත්ත්වයකට පත්වෙලා තිබෙනවා.
භෞතිකව විග්රහ කළ නොහැකි දේවත්වය නම් අධ්‍යාත්මික උත්තරීතර තත්ත්වය සකලවිධ මනුෂ්‍යයන්ගේ තාර්කික ඥානයට හසු නොවන්නක්. එය දෙවියන් කෙරෙහි පේවී දෙවියන්ට බැතිබර වී අත්දැකීමෙන් අනාවරණය කර ගත යුතු සත්‍යක්.
ඒ වගේම අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා විවිධ කොටස් වශයෙන් හිටියත් අප සතුව එක දෙවියකු පමණක් ඇත යන හැඟීම. එනම් සංස්කෘතික විශේෂත්වයක් තිබුණ ද අපි සතුව එකම දේව පද්ධතියක් සිටින බව කියන්න පුළුවන්.
අපගේ සිත් අද්දර සිට දෙවියන් අපට කතාකරනු ඇත. අන්තගාමී සිතුවිලිවල ඝෝෂාවෙන් දූෂමාන වූ සිත්වලට ඒ දේවාරාධනා ඇසෙන්නේ නැත. අප කළ යුත්තේ එකී සිතුවිලිවලින් නිදහස් වීම පමණි එවිට දෙවියන් අප හමුවේය.
-ශානිකා රත්නායක-