fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරසර සංවර්ධනයට සියලු පියවර ගෙන ඇති බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:02

තිරසර සංවර්ධනයට සියලු පියවර ගෙන ඇති බව අගමැති පවසයි

තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. තිරසර සංවර්ධන අරමුණු ළඟාකර ගැනීම මෙවර කතානායකවරුන්ගේ සමුළුවේ තේමාවයි. කතානායක කරූ ජයසූරිය මහතා සමුළුවට පැමිණි දකුණු ආසියා රටවල කතානායකවරුන් මෙහිදී ගෞරවාන්විතව පළිගත්තා.

කතානායක කරූ ජයසූරිය,

(මම ඔබ සෑමදෙනාම ශ්‍රී ලංකාව නැතහොත් සිනහවෙන් පිරිච්ච භූමියට ගෞරවයෙන් පිළිගන්නවා. මට මහත් ගෞරවයක් මෙම වසරේ දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුවට ඔබ සෑම දෙනාම පිළිගැනීමට ලැබීම. මෙම සමුළුවේ තේමාවෙන් කියවෙන්නේ ආර්ථික දියුණුව තිරසර විය යුතුයි. සාමානාත්මක විය යුතුයි සහ එය හරිත විය යුතුය යන්නයි. එසේ වුවහොත් පමණයි අපිට දිළිඳුබව තුරන්කර සෑම කෙනෙකුටම හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකියාව ලැ‍බෙන්නේ.)

සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

(අපේ කලාපයේ රටවල තිරසර සංවර්ධනයට ආර්ථික වර්ධනය අත්‍යවශ්‍ය වෙනවා. ඒ සඳහා අවශ්‍ය සම්පත් සොයාගෙන තිරසර සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට මෙයයි අද අපිට තියෙන අභියෝගය. ආර්ථික දියුණුව කරා ළඟාවීමට තිරසර සංවර්ධන ප්‍රතිපත්තීන් සහ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තීන් එකට ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ අපේ රජය බලයට පැමිණි පසු ප්‍රමුඛත්වය ලබාදුන්නේ තිරසර සංවර්ධන ඉලක්කයන් වෙතයි. අපි එය ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කළා. එහි ප්‍රධාන කාර්යභාරය පාර්ලිමේන්තුවට පැවරී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල හොඳ නීති පවතිනවා. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම ඉතා බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. එම නිසා අපි නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස්කර නීති සකස් කළා. රජය බොහෝ ක්ෂේත්‍රයන් තුළ ක්‍රියාකාරී වී තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය ගත හොත් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මකයි. එමගින් අධ්‍යාපනය ශක්තිමත් වෙනවා. ඒ වගේම සියලුම පාසල් ශිෂ්‍යන්ට රක්ෂණයක් ලබාදී තිබෙනවා. අපේ රජය නිවාස ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යනවා. ඒ උදා ගම්මාන වැනි වැඩසටහන් තුළින්. ආර්ථික සංවර්ධනයට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් හට ණය ලබාදීම ආරම්භකර තිබෙනවා. ඒ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා. ගම්පෙරළිය වැනි වැඩසටහන් ආරම්භකර ගම්මාන සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වන්නේ තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමයි.)

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 11, 2018 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්