මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීම සිදු කළේ දොම්පේ බදුවත්ත යුද හමුදා බුද්ධි අංශ නිවස්නයේදී බව අධිකරණයේදී හෙළි වුණා.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීම පිළිබඳ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මෙම නඩුවේ 8 වන විත්තිකරු වන යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයට වාර්තා කළේ නැහැ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරිය කියාසිටියේ දොම්පේ පිහිටි බුද්ධි අංශ නිවසේදී කීත් නොයාර් මහතාට පහර දීම සිදුකර ඇති බවයි. නඩු විභාගයට අවශ්‍ය කරුණු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ලබා ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා. 8 වන විත්තිකරු සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් වාර්තාවක් ලබා ගන්නා ලෙසට ද නියෝග කෙරුණා. ඔහුගේ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කෙරුණා. නඩු විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබුණා.