fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2050දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් – අගමැති ලොවටම කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 11:50

2050දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් – අගමැති ලොවටම කියයි

2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කරලීමේ පදනම සහ සැලැස්ම සකස් කර අවසන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ඉතා අභියෝගාත්මක කාර්යකි. විවිධ මත දරණ පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව එම කාර්ය ඉදිරියට රැගෙන යා යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික හමුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

සිංගප්පූරු වෙළද හා කර්මාන්ත අමාත්‍යාංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුවත් එක්ව මෙම ව්‍යාපාරික හමුව සංවිධාන කර තිබුණා. සිංගප්පූරුවේදී පැවති මෙම සමුළුවට දෙරටේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියා. භූගෝලීය පිහිටීම අනුව ආර්ථික , මූල්‍ය හා සමාජීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධන කිරීම දීර්ඝකාලීන ඉලක්කයක් බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. සියලු රටවල් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියයි. ඉදිරියේදී ඉන්දියාව , සිංගප්පූරුව,මැලේසියාව , වියට්නාමය , කොරියාව  , ජපානය චීනය වැනි ආසියා රටවල් සමග ඇති සබදතාව තව තවත් ශක්තිමත් කරලීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. ආර්ථීක කාර්මාන්ත හා සංචාරක කලාප පිළිබද පැහැදිලි කළ ඒ මහතා  කොළඹ   , මහනුවර හා හම්බන්තොට යා කෙරෙන අධිවේගී මාර්ග පද්ධතිය අවට මිලියන 09 ක ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කළ අයෝජන පිළිදව ද පැහැදිලි කළා. මෙම හමුවේදි ප්‍රශ්න කිහිපයකට අග්‍රාමාත්‍යවරයා  පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය –  ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ  තිඛෙන සැලසුම් මොනවා ද ?

පිළිතුර – පළමුව ව්‍යවසායකත්වය පිළිබඳ සංස්කෘතිය රට තුළ වර්ධනය කළ යුතුයි. අප සාම්ප්‍රදායිකවම ව්‍යාපාරික රටක් බව කිව යුතුයි. තරුණ ව්‍යවසායකයන් රැසක් රට තුළ සිටිනවා. ඔවුන්ට තිඛෙන එකම ප්‍රශ්නය මූල්‍ය පදනම සොයා ගැනීමයි. අපේ රටේ බැංකු තවමත් කටයුතු කරන්නේ ඉතා ප්‍රවේශමෙන් හා සාම්ප්‍රදායික ආකාරයටයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රජය කොපමණ උපකාර කළත් බැංකුවලින් ලැඛෙන සහාය ප්‍රමාණවත් නැහැ. එමනිසා දැනට ව්‍යාපාර ආරම්භ කර තිඛෙන ව්‍යවසායකයින් සඳහා සහන ලබා දීමට රජය පියවර ගනිමින් සිටිනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය ලබා දීමේ ක්‍රියාවලිය ද වේගවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ බැංකු ව්‍යාපෘති මූලික ආයතන බවට පත්විය යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අපනයන සංස්කෘතිය හඳුන්වා දිය යුතුයි.

ප්‍රශ්නය –

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථීකයට ඇති කරන බලපෑම කෙබඳු ද ?

පිළිතුර –

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේ දේපළ වෙළෙඳාම සංවර්ධනය සඳහායි. නමුත් අප රජය යටතේ එය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් බවට පත් කිරීමට පියවර ගත්තා. ලබන වසර වන විට එහි ගොඩ කිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතයි. අනතුරුව ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. දැනටමත් මෙවැනි මූල්‍ය නගර කිහිපයක් ඉන්දීය සාගරය අවට පිහිටුවා තිඛෙනවා. එමනිසා අප එහි අලූතෙන් ඇති කළ යුතු සේවාවන් මොනවා දැයි කල්පනා කළ යුතුයි. මෙය දස අවුරුදු සැලැස්මක් සහිත ව්‍යාපෘතියක්. මීට සති කිහිපයකට පෙර මා එංගලන්තයේ සංචාරය කළ අවස්ථාවේ මූල්‍ය නගරය ආශ්‍රිතව එංගලන්ත නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි වුණා. ඒ සඳහා උදව් උපකාර කිරීමට එංගලන්තය සූදානම් බව දැනුම් දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන මූල්‍ය නගරයට අදාළ නව නීති කිහිපයක් හඳුන්වා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. එහි එක් පියවරක් වන්නේ මූල්‍ය කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමයි. ඒ සම්බන්ධයෙන් මතුවන ගැටලූ පිළිබඳ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වනවා. වරාය මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූල්‍ය කොමිෂන් සභාව ස්ථාපනය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා.

ප්‍රශ්නය –

ඉදිරි අනාගත දැක්මට සමගාමීව රටේ දත්ත එකතුව හා විශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන්නේ කෙසේ ද ?

පිළිතුර –

මේ වන විටත් දේශීයව දත්ත එක්රැස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. ඒ හරහා රටේ ආර්ථීකයට සිදුවන බලපෑම විශ්ලේෂණය කරනවා. ඉදිරියේ දී සෙසු රටවල් සමඟ මෙම දත්ත එකතු කිරීම හා විශ්ලේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ ආර්ථීක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ අවසාන පියවර එයයි.

මෙම සමුළුව අරඹමින් ප්‍රධාන දේශනය පැවැත්වූයේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ඔස්සේ  ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු පිළිබඳ ලෝකයටම යහපත් පණිවුඩයක් ලැබෙන බව ඒ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා රජය කැපවී සිටිනවා. ඊට අවශ්‍ය අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද සමරවික්‍රම මහතා පෙන්වා දුන්නා. ආසියා සැපයුම් ජාලය පිළිබඳ වැඩි බරක් තබමින් ඒ හා එක්වීමට හැකි පරිසරයක් අපනයන ඔස්සේ බිහිකරලීම අපේක්‍ෂාවයි. රටවල් ගණනාවක් සමග ද්විපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමට ද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ , සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති නිමල් වීරරත්න , කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

මේ අතර ලී ක්වාන් යූ 2018 ජල සම්මාන ප්‍රදානෝත්සවය සිංගප්පුරුවේ  රිට්ස් කාල්ටන් හෝටලයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස මෙම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වුණා. සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යේකූබ් මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ලී ක්වාන් යූ 2018 ජල සම්මානය ඇමෙරිකා ජාතික මහාචාර්ය රීටා රොසී කොල්වෙල් මහත්මිය වෙත පිරිනැමුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 10, 2018 11:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්