ගෝලීය වටිනාකම් සහිතව පැරණි හා නවීන ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා සියලු ජන කොටස් එක්කර ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සිංගප්පූරුවේදී අද ආරම්භ වූ ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
හයවන ජගත් පුරවර සමුළුව සිංගප්පූරුවේ දී අද ආරම්භ වූයේ රටවල් 135ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්. එම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව ද ආරම්භ කෙරුණා. මෙම සමුළු තුනෙහි සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. අනාගත ජනජීවී හා තිරසර නගර මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග යන මැයෙන් අග්‍රාමාත්‍යවරයා එම දේශන පැවැත්වුවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
” සිංගප්පූරුවේ පැවැත්වෙන ජගත් පුරවර සමුළුවට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට ස්තූති වන්ත වනවා. නිසි ලෙස කළමනාකරණය කළ නගර ගොඩනැංවීම පිළිබද සිංගප්පූරුව හොද පූර්වාදර්ශයක්. අද අප ජීවත්වන්නේ මානව ක්‍රියාකාරකම් මත ගොඩනැගුණු යුගයකයි. ඒ හේතුවෙන් ජනතාව විශාල වශයෙන් නගර කරා සංක්‍රමණය වනවා. එය කොතරම් වේගවත් වූවාද කිවහොත් ඇතැම් රටවල නගර සැලසුම් රහිතව ව්‍යාප්ත වීමට ද පටන්ගත්තා. ඒ හේතුවෙන් ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් සහිත නගර බිහි කිරීම කාලීන අවශ්‍යතාවක්. දකුණු ආසියා නගර අතර කොළඹ නගරයට ඉහළ ස්ථානයක් හිමිවුවත් නගර 231ක් අතරින් 137වන ස්ථානයයි හිමිව තිබෙන්නේ. ආසියා නගර පනහක් එම දර්ශකයේ පහළ නගර පනහ අතරයි සිටින්නේ. ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේ මූලික සාධකය වන්නේ නාගරික ප්‍රදේශවල ඇති දැවැන්ත යටිතල පහසුකම් ජාලයයි. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය පදනම් කරගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ඉලක්කය වනවා. අපේ නගරවලට හුදෙකලාව ඉදිරියට යා නොහැකියි. සුපිරි වේගවත් සම්බන්ධතාවන්, මානුෂීය සුරක්ෂිත භාවය හා සුභසාධනය උපරිම තලයකට නැංවීමටත් සුහුරු ආරක්ෂිත ජන ජීවී හා තිරසර නගර සංවර්ධනය සදහා භාවිත කරන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුයි.”
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද , රවුෆ් හකීම්, සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන්ද, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද සංවිධාන කර තිබුණා. සමුළු සභාපති මහාචාර්ය ටොමීකෝ මහතා මෙම වැඩසටහන මෙහෙයවූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සදහා රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං මහතා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුවා. එම අවස්ථාවේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙද ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සිංගප්පූරුව කටයුතු කරන බවයි. මෙම ගිවිසුම ඔස්සේ නව තාක්ෂණය දැනුම හා රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයන්ට හිමිවන බවද මෙහිදී අවධාරණය කෙරුණා. ආර්ථික පරිපාලන හා සමාජීය කේන්ද්රවලදී සමීපව කටයුතු කිරීම තුළින් වාසිදායක අවස්ථා නිර්මාණය කර ගත හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.