දඹුල්ල, කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගොකරැල්ල ප්රදේශයේ දී බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හැට දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කෙරුණා. තුවාල ලැබූ පිරිස අතර භික්ෂූන්වහන්සේ නමක සහ භික්ෂුණීන්වහන්සේ නමක ද සිටිනවා.
බස් අනතුරෙන් තුවාල ලැබූ මගීන් ගලේවෙල, කුරුණෑගල, ගොකරැල්ල සහ දඹුල්ල රෝහල්වලට ඇතුලත්කර ඇති බවට සඳහන්. විසි දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. එක් බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවනය කෙරුණු අතර අනෙක වව්නියාවේ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබුණා.
බස් රථයේ සිටි මගීන් සඳහන් කරන්නේ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණි බවයි. මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බව හඳුන්ගෙන තිබෙනවා. රියදුරන් දෙදෙනා මිතුරන් වන අතර ඔවුන් බස් රථ දෙක එකට යා කිරීමට ගත් උත්සාහයක දී අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්රදේශවාසීන් සඳහන් කළේ එකවරට විශාල ශබ්දයක් ඇසී බලන විට මගීන් කෑකෝ ගසමින් සිටින ආකාරය තමන්ට දැක ගත හැකිවූ බවයි. සිද්ධියෙන් පසු දඹුල්ල කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගමනා ගමනය විනාඩි 45ක පමණ කාලයක් අවහිර වී තිබුණා. රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී ධාවනය සහ විසුළු කරමින් මාර්ගයේ ගමන් කිරීම අනතුරට ප්රධාන හේතුව බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී හෙලි වී ඇත්තේ.