ජගත් පුරවර සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුව බලා අද පිටත්ව ගියා. එහි සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි.
සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුවට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරු හිටපු අග්‍රාමාත්‍ය ගෝ චොක් ටොන් යන මහත්වරුන් ඇතුලු එරට ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී සාකච්ඡා කරනු ඇති.
නවෝත්පාදන හා සහයෝගීතාව තුළින් අනාගතයට සුදුසු තිරසර නගර ඇති කිරීම යන තේමාවෙන් මෙවර ජගත් පුරවර සමුළුව පැවැත්වෙනවා. එහි සමාරම්භක සැසියේදී නාගරික සංවර්ධනය හා පරිසරය සුරැකීම මැයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතයි. මනා පරිපාලනය හා සැලසුම්කරණය, තාක්ෂණය හා සමාජයීය නව නිපැයුම් මෙන්ම මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත් වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පූරු සංචාරයට එක්ව සිටිනවා.