මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිළට ගෙන සුවිසල් නිවසක් ඉදිකිරිමෙන් රුපියල් මිලියන දෙසිය හතක මුදල් අවභාවිත කළ බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා කිහිප වරක්ම ප්‍රකාශ කළේ මෙම ඉඩම තමාට අයත් නොවන බවයි. එහෙත් මෙම ඉඩමට ඔහුගේ ඇති සම්බන්ධතාව අධිකරණයේදී අනාවරණය වුණා.
දොම්පේ, මල්වාන,මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දාසයක ඉඩමක් මිලට ගෙන එහි විවිධ ඉදිකිරීම් සිදුකර තිබෙනවා. සුවිසල් නිවසට අමතරව පිහිණුම් තටාකයක් ද මෙහි පවතිනවා. එමෙන්ම සත්ත්ව ගොවිපළක් ද පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ. මේ අනුව රුපියල් මිලියන 207 ක රජයේ මුදල් අවභාවිත කිරිමේ චෝදනාවයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාතියෙකු වන තිරු නඩේෂන් යන අයට එරෙහිව එල්ල වී ඇත්තේ. මීට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ (06) දිනයේ ද විභාගයට ගැනුණා.
නඩුවේ දෙවන සාක්ෂිකරු වු මෙම නිවසේ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතා අනාවරණය කළ කරුණු තුලින් බැසිල් රාජපක්ෂ මහතාට මෙම සිද්ධියට ඇති සබඳතාව ඉතා හොදින් පැහැදිලි වනවා. මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් පරික්ෂා කර එහි නිවසක් ඉදි කිරීමට ඇති යෝග්‍යතාව පරික්ෂා කර දන්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව මුදිත ජයකොඩි මහතා සාක්ෂි ලබා දෙමින් කියා සිටියා. තමා හදුනාගත් ඉඩම මිළදී ගැනීමට ආදාළව කටයුතු කරන ලෙස හා එය තිරු නඩේෂන් මහතාගේ නමින් මිලදී ගන්නා ලෙස මෙන්ම ඒ පිළිබද ඔහු සමග සාකච්ඡා කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව සාක්ෂිකරු අධිකරණයේදී ප්‍රකාශ කළා. ඉඩම සම්බන්ධ නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නමැති අයට පැවරිමට බැසිල් රාජපක්ෂ මහතා එකගවූ බව සාක්ෂිකරු සදහන් කළා. ඒ අනුව එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරිමට මාස කිහිපයක්ම ගත වූ බවද ඔහු ප්‍රකාශ කළා.
ගම්පහ බැංකුවකදී රුපියල් මිලියන දහය බැගින් වූ තිරු නඩේෂන්ගේ නමිත් යුත් චෙක්පත් තුනක් ඉඩම් හිමිකරුවන්ට භාර දුන් බව සාක්ෂි විභාගයේදී හෙළි කෙරුණා. ඉතිරි මුදල, මුදලින් ගෙවු බව සාක්ෂිකරු කියා සිටියා. එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් චෙක්පත්වලට පරිබාහිරව කළ ගෙවිම් ගැන සදහන් කිරිමට විරෝධය පළ කළා. ඉඩම පවරා ගැනිමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි ගොවිපළක් පවත්වාගෙන යාම සදහා සිඅයිසී සමාගමේ නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව මුදිත ජයකොඩි මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. ඉඩමේ හා ගොවිපොළේ ආරක්ෂාවට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය ලබා ගැනිමට කටයුතු කළේ ද බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බව මුදිත ජයකොඩි මහතා වැඩිදුරටත් කියා සිටියා.
සාක්ෂි මෙසේ ඉදිරිපත්ව තිබුණ ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මෙම ඉඩම හා තමන් අතර කිසිදු සබඳතාවක් නැති බවයි. මෙසේ රුපියල් මිලියන 207 ක විශාල මුදලක් අව භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකෙරෙනවා. මේ අතර පසුගිය පාලන සමයේ රාජපක්ෂවරුන් සිදුකළ වංචා දූෂණ රැසක් හෙළිදරව් වෙමින් පවතිනවා. පුෂ්පා රාජපක්ෂ සිදුකර බව කියන එවැනි මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ පසුගියදා දිනමිණ පුවත්පතේ පළවුණා.
මේ අතර කොළඹ දකුණ වරාය ඉදිකිරීම් භාරගෙන තිබූ චීන සමාගමෙන් රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පවත්වාගෙන යන පදනමකට බැරකර ඇති බවට මේ වන විට කරුණු හෙළිවෙමින් පවතිනවා. එම මුදල් ලබා දුන් චෙක්පත පිළිබඳව ද මේ වන විට හෙළිවී අවසන්. කෙසේ වුව ද මෙම මුදල කොළඹ දකුණ වරාය සංවර්ධනය සඳහා දරන වියදමක් ලෙස ගිණුම් ගතකර ඇති බව පසුගියදා හෙළි කෙරුණා. මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වෙච්ඡා සංවිධාන අරමුදලට සී අයි සී ටී චීන සමාගමෙන් වරාය සංවර්ධන වියදමට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව 2016 වසරේ කරුණු විමසා ඇති බව සඳහන්.