පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරුන් 8 දෙනෙකුට විදෙස් ගමන් සීමා කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළා. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් තමන්ගේ විදෙස් ගමන් සීමා කිරීමේ නියෝගයක් නිකුත් නොකරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ.
ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මේ වන තෙක් සිදු කර ඇති විමර්ශන කටයුතුවලට සහාය ලබාදී ඇති බැවින් සහ රටින් පැනයන බවට සාක්ෂියක් ඉදිරිපත්වී නැති බැවින් විදෙස් ගමන් සීමා නොකරන ලෙස ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් වගකීම් දැරිය යුතු බැවින් ඔහුගේ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ.
මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ මස 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අර්ජුන් ඇලෝසියස් සිටින සිර කුටියේ තිබී සොයාගන්නා ලද ජංගම දුරකතන තුනක් සහ සිම්පත් පහක් සම්බන්ධයෙන් සියලු දුරකතන වාර්තා ලබා දෙන ලෙස දුරකතන සමාගම් පහක ප්‍රධාන විධායක කළමනාකරුවන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.