fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුෂ්පාගේ පදනමට එක් කෝටි අනූහතර ලක්ෂකයක් හොර පාරෙන්

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 17:42

පුෂ්පාගේ පදනමට එක් කෝටි අනූහතර ලක්ෂකයක් හොර පාරෙන්

කොළඹ දකුණ වරාය ඉදිකිරීම් භාරගෙන තිබූ චීන සමාගමෙන් රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පවත්වාගෙන යන පදනමකට බැර කර ඇති බවට දිනමිණ පුවත්පත වාර්තා කළා.  සී අයි සී ටී සමාගමෙන් මෙසේ මුදල් ලැබී ඇති බවයි එම පුවත්පත පෙන්වා දෙන්නේ.

පුෂ්පා රාජපක්ෂ මහත්මිය පවත්වාගෙන යන පදනමට එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග නොකළ බව එම සමාගම සඳහන් කරනවා. මෙම මුදල කොළඹ දකුණු වරාය සංවර්ධනය සදහා දරණ වියදමක් ලෙස ගිණුම්ගතකර තිබෙනවා. මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වෙච්ඡා සංවිධාන අරමුදලට සීඅයිසීටී චීන සමාගමෙන් වරාය සංවර්ධන වියදමට එකතුකර ගෙවීම සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුව ද 2016 වසරේදී කරුණු විමසා ඇති බව සදහන්.

වසර 35 කින් ආපසු ගෙවීමේ පදනම මත සීඅයිසීටී සමාගම දකුණු වරාය පර්යන්ත බහාලු මෙහෙයුම් සංවර්ධන කටයුතු ආරම්භ කළේ 2013 වසරේ ජුලි 13 වනදායි. පුෂ්පා රාජපක්ෂ ස්වෙච්ඡා පදනමට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක් 2012 වසරේ මැයි 21 වන දින බැර කර ඇති බව දිනමිණ පුවත්පත පෙන්වා දෙනවා. එම පුවත්පත වැඩිදුරටත් සදහන් කරන්නේ සීඅයිසීටී හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරණ චෙක්පත මගින් එම මුදල් ගෙවා ඇති බවයි. එම මුදල් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204/1/001/0003290 ට බැරවී ඇති බව රාජ්‍ය විගණන වාර්තා තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් සහ සීඅයිසීටී සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විගණන දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර තිබෙනවා.එම මුදල් වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවට එම ප්‍රශ්න කිරීම් වලදී ද තහවුරු වුණා. එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් චීන සමාගම පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී නැති බවද දිනමිණ පුවත්පතේ අදාළ ලිපියේ සඳහන්.

චීන සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි වෙනත් පුද්ගලයෙකු මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවයි දිනමිණ පුවත්පත වැඩිදුරටත් සදහන් කරන්නේ. ශ්‍රී ලංකාව තුළ ස්වෙච්ඡා සංවිධාන විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වනවා. එහෙත් පුෂ්පා රාජපක්ෂ පදනමට පමණක් මෙතරම් විශාල මුදලක් බැර කළේ කුමක් හේතුවෙන්දැයි විගණන දෙපාර්තමේන්තුව පූර්ණ අවදානය යොමුකර තිබෙනවා. සීඅයිසීටී සමාගම සිය කොන්ත්‍රාත්තුව අවසන් වූ පසු චංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැයකළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතුයි. ඒ අනුව චීන සමාගමට වරාය අධිකාරිය ණය ගෙවීමේ දී මෙසේ පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදුන් මුදල ද ගෙවිය යුතු වනවා. ඒ හේතුවෙන් දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතුකරමින් පුෂ්පා රාජපක්ෂ පදනම චීන සමාගමෙන් මෙතරම් මුදලක් ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත බව විගණන වාර්තා පෙන්වා දී ඇති බව දිනමිණ පුවත්පත අවධාරණය කරනවා.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීමෙන් සිදුව ඇති මෙවැනි වංචා රැසක් පිළිබද මීට පෙරද කරුණු හෙළිවුණා. පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හම්බන්තොට වරාය ඉදිකිරීම හා සම්බන්ධ ඩොලර් මිලියන හතයි දශම හයක මුදලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක වියදම් ලෙස ලබාදී ඇති බවට හෙළිවුණා. මිග් යානා ගනුදෙනුව, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය,  ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව, කතරගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවී තිබෙනවා. එමෙන්ම මල්වාන ප්‍රදේශයේ විශාල ඉඩමක අති සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවුණා. දිවිනැගුම මුදල් වංචාව ඇතුළු මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට චෝදනා එල්ලවී තිබෙනවා. රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීමට උත්සාහ දරන්නේ මේ වංචා දූෂණ සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනාවලින් ගැලවී සිටීමටදැයි විශාල කතාබහකට ලක්වී තිබෙන කරුණකි.

ITN News Editor
By ITN News Editor ජූලි 5, 2018 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්