fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය මණ්ඩල තීරණ

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 15:16

අමාත්‍ය මණ්ඩල තීරණ

2018.07.03 දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.

ජල මූලාශ්‍රයන්හි ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතිය

කෘෂිකාර්මික කටයුතුවලදී පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත කිරීම හේතුවෙන් ජල මූලාශ්‍රවල තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පහත වැටී ඇති අතර, එම තත්ත්වය මිනිසා ඇතුළු ජීවීන්ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා ඇත. එසේම දැනට ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දක්නට ලැබෙන හේතුව පැහැදිලිව හඳුනා නොගත් වකුගඩු රෝගය සඳහාද පානීය ජලයෙහි ගුණාත්මකභාවය සම්බන්ධයෙන් වන ගැටලු හේතු වී ඇතැයි කරුණු ඉදිරිපත් වී තිබේ. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජල මූලාශ්‍රයන්හි තිබෙන ජලයෙහි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම මඟින් ජල දූෂණය සඳහා හේතුවන සාධක හඳුනා ගැනීමේත් ඒ තත්ත්වයන්ට පිළියම් යෙදීමේත් සහ ඉන් සිදුවන බලපෑම් පිළිබඳ පාසල් ළමුන් හා මහජනතාව දැනුම්වත් කිරීමේත් අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා ‘රට අභ්‍යන්තර ජල මූලාශ්‍රයන්හි ජලයේ ගුණාත්මක තත්ත්වය පසු විපරම් කිරීමේ ව්‍යාපෘතිය’ 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

‘පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම’ ක්‍රියාත්මක කිරීම

කොළඹ නගරය අවට වායු ගෝලයේ පවතින වායු දූෂණය පාලනය කිරීම සඳහා විවිධ වැඩසටහන් රජය විසින් දීර්ඝ කාලයක සිට ක්‍රියාවට නංවනු ලැබ තිබේ. වායු තත්ත්වය කළමනාකරණය සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් ස්ථාපිත කරන ලද වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය මූලිකත්වයෙන් ‘පිරිසිදු වායු 2000 ක්‍රියාකාරී සැලැස්ම’ කාලීන අවශ්‍යතාවයන් අනුව සංශෝධනය කරමින් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. ඉදිරි වර්ෂ තුළද ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිව ‘පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම’ පිළියෙල කර ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය අධීක්ෂණය සහ නියාමනය ලබා දීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණය – 2018/19

කාන්තාවන්ගේ ආරක්ෂාව හා ඔවුන් සවිබල ගැන්වීම සඳහා වන විධිවිධාන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙන්ම වෙනත් පනත් රාශියක් මඟින්ද සලසනු ලැබ තිබේ. ඒ අනුව, කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන වැඩසටහන් විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වයෙන් සිදු කෙරේ. එසේ වුවත්, ශ්‍රී ලාංකික ශ්‍රම වෙළඳ පොළ තුළ කාන්තා ශ්‍රම සහභාගිත්වය අඩු ප්‍රතිශතයක් ගැනීම, කාන්තා හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආදි කරුණු සම්බන්ධයෙන් නිල නොවන සංඛ්‍යාලේඛන සමාජගත වීමත් සමඟ ශ්‍රී ලාංකේය සමාජය තුළ කාන්තාවන් අත්විඳින යථා ස්වරූපය පිළිබඳ අව‍බෝධ කරගැනීම සඳහා විධිමත් නිල සංඛ්‍යාලේඛනවල අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පිරිනමනු ලැබීමට නියමිත රුපියල් මිලියන 26.9 ප්‍රදාන මුදල යොදාගනිමින්, ජාතික මට්ටමින් කාන්තා සුබසිද්ධිය පිළිබඳ සමීක්ෂණයක්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් පැවැත්වීමටත්, එහි වාර්තාව ප්‍රකාශයට පත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.ඉදිරි වර්ෂ තුළද ශ්‍රී ලංකාවේ වායු තත්ත්වය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණ ඇතිව ‘පිරිසිදු වායු 2025 ක්‍රියාකාරී සැලැස්ම’ පිළියෙල කර ඇත. එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය අධීක්ෂණය සහ නියාමනය ලබා දීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

දැනට පවත්නා අධිවේගී මාර්ග ජාලය තවදුරටත් පුළුල් කරමින් පොතුහැර හරහා කොළඹ හා මහනුවර යා කිරීමේ අරමුණින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා වී ඇත. එමඟින් ආර්ථික වශයෙන් වැදගත් වරාය, ගුවන්තොටුපළ හා වාණිජමය නගර සහ පළාත් කිහිපයක් යා කරමින් ‍දිවයිනේ දකුණු ප්‍රදේශයේ සිට මහනුවර දක්වා අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කෙරෙනු ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගැනීම

නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම මඟින් ව්‍යාපෘති සූදානම ශක්තිමත් කිරීම යෝජිත නාගරික ව්‍යාපෘති පෙර සූදානම් පහසුකම මඟින් අපේක්ෂා කෙරේ. එමඟින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ද්විතීයික නගර 25ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මූලෝපායික නගර 04ක් සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිවල ආරම්භක කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරෙනු ඇත. ඒ අනුව, මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක තාක්ෂණික සහාය ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

තාක්ෂණය හා නවෝත්පාදනය පිළිබඳ දැනුම සහිත මානව සම්පතට ආර්ථිකය තුළ ඇතිවෙමින් පවතින ඉල්ලුම සපුරා ලීම සඳහා විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 165ක සමස්ත ආයෝජනයකින් යුත් විද්‍යා හා තාක්ෂණික මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් කැලණිය, රජරට හා සබරගමුව යන විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨ 03ක්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක්ද ස්ථාපිත කෙරෙනු ඇත. එමඟින් වර්තමාන ශ්‍රම වෙළඳපොළට ගැළපෙන කුසලතාවන්ගෙන් පිරි, නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුත්, ව්‍යවසායකත්වය පිළිබඳ උනන්දුවක් සහිත උපාධිධාරින් බිහි කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 145ක විදේශීය අරමුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම

උතුරු පළාත තුළ ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන හා රැකියා අවස්ථා වැඩි කරමින් එම පළාතෙහි මත්ස්‍ය නිෂ්පාදනය තිරසරව ඉහළ නැංවීම සඳහා උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ පේදුරුතුඩුවේ හා පේසාලේහි ධීවර වරායන් දෙකක්, යාපනය මන්ඩතිව්හි නැංගුරම් පොළක් සහ යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ධීවර තොටුපළවල් 23ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ජලජ ජීවී වගා සංවර්ධනය සඳහා මුලතිව්හි මුහුදු පිපිඤ්ඤා අභිජනනාගාරයක්ද, මන්නාරමෙහි කකුළුවන් අභිජනනාගාරයක්ද යාපනයේ මුහුදු පැළෑටි පටක රෝපණ විද්‍යාගාරයක්ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. තවද කාන්තාවන් ඇතුළුව ප්‍රාදේශීය ප්‍රජාවන් වෙත සහාය සැලසීම පිණිස මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 141ක් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කඩොලාන නැවත වගා කිරීම සඳහා ආධාර කිරීම, ණය පහසුකම් පිළිබඳ දැනුම්වත් කිරීම, රැකියා අවස්ථා බිහි කිරීම සඳහා ආදර්ශ හවුල් ව්‍යාපාර 03ක් පිහිටුවීම හා දිගුකාලීන ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාව සඳහා මනෝ-සාමාජයීය සහාය සැපයීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් විදේශීය අරමුදල් සහායද සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 201.2ක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 174ක විදේශීය අරමුදල් සහාය ආසියානු සංවර්ධන බැංකුව මඟින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, නව කැලණි පාලම හරහා කොළඹ කොටුව සහ වරාය වෙත සම්බන්ධ කිරීම පිණිස කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා වී ඇත. මේ මඟින් අවට ප්‍රදේශවල දැනට පවතින අධික රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වාණිජ ප්‍රවාහන පහසුකම් සැපයීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ වරාය සඳහාම වූ විශේෂ ප්‍රවේශ මාර්ගයක් සහිතව, නව කැලණි පාලම සිට ගාලු මුවදොර දක්වා කිලෝ මීටර 5.3ක දිගින් යුක්ත වූ කුලුනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමට නියමිතය. එමෙන්ම වරාය ප්‍රවේශ මාර්ගය මංතීරු හය දක්වා වැඩි කිරීමට සහ විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් ඉදි කිරීමටද යෝජනා වී ඇත. මීට අමතරව මෙම ඉදි කිරීම් හේතුවෙන් බලපෑමට ලක් වන වරාය සතු ස්ථාන 49ක් ප්‍රතිස්ථානගත කිරීමට සහ වරාය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360.2ක මුළු ආයෝජනයක් සිදු කිරීමට රජය විසින් අපේක්ෂා කරනු ලබන අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 300ක විදේශීය අරමුදල් සහායක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

විවිධ ජන කොටස් අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය

රජය සතු පොදු අධිකාරින් සතු තොරතුරුවලට මහජනතාවට ප්‍රවේශවීමට හැකි වන පරිදි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මේ වන විට ක්‍රියාත්මක වේ. එම පනත මඟින් තහවුරු කර ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය විශේෂයෙන්ම ගැටුම් පැවති ප්‍රදේශයන්වල හා දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශවල සේවය කරන නිලධාරින් අතර ප්‍රචලිත කිරීම, තොරතුරු අයිතිය භාවිතය පිළිබඳ ඔවුන් දැනුම්වත් කිරීම සහ ඒ පිළිබඳ නිලධාරින් පුහුණු කිරීම තවදුරටත් වැඩි වර්ධනය කිරීම පිණිස ව්‍යාපෘතියක් ස්විට්සර්ලන්ත රජය විසින් පිරිනමනු ලබන අරමුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාව සඳහා සහායවීමට අවශ්‍ය කාර්යරාමුවක් සංවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සැලසීම

ශක්තිමත් රාජ්‍ය – පෞද්ගලික සහයෝගිතා වැඩසටහනක් මඟින් ඍජු විදේශ ආයෝජන ආකර්ශණය කරගනිමින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා රාජ්‍ය – පෞද්ගලික සහයෝගිතාවය පිළිබඳ නියෝජ්‍යායතනය (NAPPP) පිහිටුවනු ලැබ ඇත. එම ආයතනය විසින් මේ වන විට රාජ්‍ය – පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘති 35ක් පමණ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනා ගනු ලැබ තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය – පෞද්ගලික සහයෝගිතා වැඩසටහනට සහාය වීම පිණිස ලෝක බැංකු අරමුදල් යටතේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාත්‍යන්තර ජල සංගමයේ (IWA) 2019 ජල හා සංවර්ධන සමුළුව සහ ජල සුරක්ෂිතතාව සඳහා තිරසර විසඳුම් පිළිබඳ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වීම

ජාත්‍යන්තර ජල සංගමය විසින් සෑම වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන ජල හා සංවර්ධන සමුළුව හා ප්‍රදර්ශනය 2019 වර්ෂයේදී කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම සමුළුව මෙරට පැවැත්වීම තුළින් මෙම ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්, ජල හා පාරිසරික වෘත්තිකයින්, ඉංජිනේරුවන්, රසායනඥයින්, නියාමකයින් සහ ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා අත්කර ගත හැකි ප්‍රතිලාභ හා එමඟින් සැලසෙන සේවය සැලකිල්ලට ගෙන, 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට යෝජිත ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුව හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශීය කර්මාන්තපුර පිහිටුවා ඇති අතර, ඒවායේ කර්මාන්තශාලා ආරම්භ කිරීමට අපේක්ෂිත ආයෝජකයින් තෝරාගැනීම, ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව හා අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව මඟින් සිදු කෙරෙයි. එකී කමිටුවල නිර්දේශ පරිදි තෝරාගත් ආයෝජකයින්ට, එම කර්මාන්තවලින් බිහිවන ඍජු රැකියා අවස්ථා සහ රුපියල් බිලියන 4කට අධික ආයෝජනය සලකා, වසර 35ක බදු පදනම යටතේ පුත්තලම, නුරානි, බට-අත, නාලන්ද, නාලන්ද එල්ලාවල, ලක්ෂ උයන, රයිගම්පුර, මිල්ලෑව යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ITN News Editor
By ITN News Editor ජූලි 4, 2018 15:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්