ඉහළ ප්‍රමිතියෙන් යුත් චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හදුන්වාදීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. කලාකරුවන් සමඟ පැවති හමුවකදී ජනාධිපතිතුමා මේ පිළිබඳ අදහස් පළකළා.
ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී කලාකරුවන් තම ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සදහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තයේ උද්ගතව ඇති ගැටලු පිළිබඳව ඔවුන් ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කළා. දිවයින පුරා සිනමා ශාලා නවීකරණ කටයුතු මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ප්‍රමිතියෙන් යුත් රංග ශාලා නොමැතිවීමෙන් එල්ලවී ඇති බාධා පිළිබඳව ද මෙහිදී අවදානය යොමුවුණා.
පළාත් සභා සමඟ සාකච්ඡාකර ප්‍රධාන නගරවල ප්‍රමිතියෙන් යුත් එක් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. විදේශ ටෙලිනාට්‍ය හේතුවෙන් දේශීය ටෙලිනාට්‍ය කලාවට එල්ලවී ඇති බලපෑම සහ ඒ සදහා ක්‍රියාත්මක බදු ක්‍රමවේදයන් පිළිබදව ද මෙම සාකච්ඡාවේදී අවදානය යොමුකෙරුණා. දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නගාසිටුවීම සදහා නව අරමුදලක් පිහිටුවීමට ද මෙහිදී යෝජනා කෙරුණා. මේ අතර ටෙලිනාට්‍ය ප්රමිතිකරණය, නියාමනය හා සංවර්ධන ආයතන පනතට අදාළ යෝජිත කෙටුම්පත ද රංගන ශිල්පිනී දීපානි සිල්වා මහත්මිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවා. මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.