රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ ගිණුම් අධිකරණ නියෝග මත අත්හිටුවීමෙන් දින පහකට පසු එම ගිණුම්වලින් රුපියල් තුන්කෝටි පනස් දෙලක්ෂයකට වැඩි මුදලක් ලබාගෙන ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම් පරීක්ෂා කිරීමට අවශ්‍ය බවද එම කොට්ඨාසය සදහන් කළා.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ ගිණුම් පරීක්ෂා කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබාදුන්නා. මිග්යානා ගනුදෙනුවට සම්බන්ධ තවත් නිලධාරීන් පස්දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අධිකරණය අද(29) අවසර ලබාදුන්නා. මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඉදිරිපත් කළ රහස්‍ය ලේඛන රෙජිස්ටාර්වරිය භාරයේ තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළා.
උදයංග වීරතුංග මහතාගේ නැන්දනිය වන ඉන්ද්‍රානි මනම්පේරි මහත්මියගේ ගිණුම් පරීක්ෂා කිරීමේ දී එහි තිබූ රුපියල් මිලියන විස්සකට සම්බන්ධ ගිණුම් වාර්තා ලැබී ඇති බවත් ඒ පිළිබද විමර්ශන සිදුකරන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දුන්නා. උදයංග වීරතුංග මහතාට පැනවාම, ලැටිවියාව ඇතුළු රටවල් ගණනාවක ගිණුම් 16 පමණ ලැබී ඇති බවට සහ එම රටවලින් මෙම ගිණුම්වලට විදේශගත ප්‍රේෂණ ලැබී ඇති බවටද අනාවරණය වූ බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
2008 වසරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් උදයංග වීරතුංග පාර්ශ්වකරුවෙකු වී ඇති බවත් මිග් යානාවලට අමතරව තවත් යානා ගෙන්වීම සම්බන්ධයෙන් ඔහු පාර්ශ්වකරුවෙකු ලෙස මැදිහත් වී ඇති බවටත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දුන්නා. මේ අතර සාපරාධි කාරණ 13ක් සම්බන්ධයෙන් යුක්රේනය සමඟ අන්‍යෙන්‍ය හුවමාරු පනත යටතේ තොරතුරු හුවමාරු කර ගනිමින් සිටින බවද එම කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. නැවත සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලබන අගෝස්තු 24 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියෝග කෙරුණා.