අපේ රටේ මිනිස්සුන්ට වඩා ජංගම දුරකථන ප්‍රමාණයක් තියනවා කිව්වොත් ඒක හිතළුවක් හෝ කාගෙවත් කට කහනවට කියූ දෙයක් නෙවෙයි. විශ්ව ගම්මානයක් වුණ ලෝකයේ රටවල් 180න් 74 වැනි තැනත්, අන්තර්ජාලය භාවිත කරන රටවල් අතර 37 වැනි තැනත් හිමිවන්නේ අපේ රටට. ඒ වගේම අපේ රටේ Facebook භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 60ක් බව ද මෑතක දී විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
අන්තර්ජාලය භාවිතය වැඩිවීම යනු රටක් ලෝකයේ තොරතරු සමඟ දැනුවත්ව සිටිනවා යන්නයි. දැනුම බලය වූ තොරතුරු ප්රාග්ධනය වූ ලෝකයක එය රටක් ලෙස අපට සතුටු විය හැකි කරුණක්. අනාගත ලෝකයේ ආර්ථිකය ගමන් කරන්නේ ඩිජිටල් ලොවක් වෙත වීම ඊට ප්‍රධානම හේතුවක්.
අන්තර්ජාලය භාවිතයේ දී සයිබර් අපරාධ සිදුවන බව සත්‍යක්. අපරාධ සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් සිදුවෙයි. එය සයිබර් ජාලයට ද අදාළ ය. එය වැළැක්වීම අපහසු මුත් කළමනාකරණය කරගත හැකිය. නමුත් මෙලෝ විචාරයක් නැතුව චැට් කරමින් කාලය ගතකළොත් නම් අපරාධකරුවන් වැඩිවීම වළක්වන්න කිසිවෙකුටත් කළ නොහැකියි.
සමාජ ජාල මාධ්‍ය ගැන කතා කිරීමේ දී අපේ රටේ බහුතරය එය දකින්නේ පරමානු බෝම්බයකටත් වඩා දරුණු ලෙසයි . ඊට හේතු ලෙස සමාජ මාධ්‍ය හරහා සිදුවන අපරාධ පමණක් සමාජගත වීමත්, සමාජ ජාල මාධ්‍ය වැඩියෙන් භාවිත කරන පිරිස හා නොකරන පිරිස අතර පරම්පරා පරතරයක් දැක්විය හැකි අතරම, මිනිසුන් තුළ අඩු වැඩි වශයෙන් ඇති නව භිතිකාව ද හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.
අනෙක් ප්‍රධානම හේතුව වන්නේ අඹුඩේ නොගලවා ඩෙනිම් අැන්ද අපේ ප්‍රතිපත්තිය යි. එනම් වික්ටෝරියානු සම්ප්‍රධායේ වලිගයෙන් අල්ලාගෙන අපේ ජනගත උරුමයන්ට මඬු වලිගයෙන් තැලීම යි. ලිංගිකත්වය, සෞන්දර්ය එක්කර එය කලාවක් ලෙස ප්‍රගුණ කළ මිනිසුන් අපේ රටේ සිටි බවට සීගිරි අප්සරාවියන් අපට ඔප්පු කරයි. නමුත් ජාතියේ අවාසනාවට අද ලිංගික විෂය ගැන අප අකින්නේ එවැනි මනසකින් නොවේ. මෙකී ගැටලුව සමාජ ජාල මාධ්‍ය භාවිතය රට තුළ වැරදි චිත්‍රයක් මවා පෑමට හේතු වේ. නිල් චිත්‍රපට හා ලිංගික අපරාධ සමාජ ජාල මාධ්‍ය අතර වෙනසක් ඔවුන් නොදකියි.
නමුත් සමාජ ජාල මාධ්‍ය යනු එවැනි පටු සීමාවකට කොටු කළ යුතු නොවේ. මේ තුළ ඉතා නිර්මාණශීලි බලාත්මක නිර්මාණ හුවමාරු වේ. ගැටලුව ඇත්තේ FB කවියන්ට හා YouTube කථිකයන්ට, ගායකයන්ට නිසි තැනක් දීමට තරම් උසස් මනසක් සමාජයට නොතිබීමයි.
ගුරුළුගොමින් අමාවතුර ලියූවේ තල්පතක ය. මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරලිය ලිව්වේ කඩදාසි පොත්වල ය. පොත කඩදාසි නිසා ගම්පෙරලිය විශිෂ්ට කෘතියක් නොවේ යැයි ගුරුළුගොමින් කිව්වොත් එය කොතරම් දුරට සාධාරණදැයි සිතීම ඔබට බාරය. එත් නූතන පරම්පරාවේ කවියන්, කලාකරුවන් ජීවත්වන්නේ පුස්කොළ පොත්වලවත්, කඩදාසි කොළපොත් යුගයේවත් නොව, ඩිජිටල් යුගයේ ය. ඔවුන්ගේ නිර්මාණ විවර වන්නේ මුළු ලෝකයට ම ය. ඔවුන් අතින් පෑන ගෙන කප කපා ඇඟිලි ගෙවෙන තුරු නොලියා ගූගල් වොයිස් ටයිපිං දමාගෙන ලියන බවත් සත්‍ය විය හැකිය. එපමණකින් කලාවේ අගක් මුලක් නොදත් කජු කිරි කොල්ලන් කෙල්ලන් ලියනවා යැයි කියමින් ඒවා ඉවත දැමීම කළ හැකිද?
සමාජ ජාල මාධ්‍යවල ඇති හොඳම දේ හා නරකම දේ වාරණය කිරීමේ අපහසුතාව යි. විශේෂයෙන්ම පුවත්පත, ගුවන්විදුලිය, රුපවාහිනිය ආදී සෑම ජන මාධ්‍යක්ම විවිධාකාරයේ වාරණවලට යටත් වෙයි. එනමුත් සමාජ ජාල වාරණය කිරීම කිසිවෙකුටකත් සිදුකළ නොහැකි ය. මේ හේතුවෙන් සමාජ, ආර්ථික, දේශපලන අකටයුතු පිළිබඳව කෙළින් කතාකිරීමට පමණක් නොව,රටක ප්‍රධානියාගේ සිට පාර අතුගාන මිනිහා දක්වා ඕනෑම අයකුගේ වස්ත්‍ර ගැලවීමට ද අවස්ථාව උද වෙයි.
විශේෂයෙන්ම පාලක පන්තියේ අඩු ලුහුඬුකම්, වැරදි, අපරාධ ආදිය විවේචනය කිරීමට හාස්‍ය හා උපහාසයෙන් පහරදීමට දීමට සමාජ ජාල මාධ්‍ය තරම් හොඳ වේදිකාවක් නැති බවට සැකයක් නැත. එය පාලක පන්තියට වැදගත් වන්නේ ඒ හරහා තමන්ගේ ජනප්‍රියත්වය වර්ධනය කරගැනීමට හා තම වැඩපිළිවෙළ ගැන ජනතා අදහස් දැනගැනීම පිළිබඳව පමණක් නොව, ජනයාගේ කැරලිකාර මානසිකත්වය දුක, වේදනාව, කෝපය ආදිය ද දැක ගැනීමට හැකිවන නිසා ය.
ජාතික හදිසි ආපදා තත්ත්ව හමුවේ සමාජ ජාල මාධ්‍යවල බලය හා ශක්තිය පිළිබඳව අපි කිහිපවරක් ම අත්දැක ඇත්තෙමු. විශේෂයෙන්ම ගං වතුර සමයේ කොළඹ කොටුවේ සහ මරදාන දුම්රිය ස්ථානවලට සහනාධාර රැස් වූයේ Facebookවල හුවමාරු වූ පොස්ට් නිසා ය. එපමණක් ද නොව ගංවතුරින් කොටු වූ පිරිස් ගැන තොරතුරු සොයා ගැනීමට සමාජ ජාල මාධ්‍යයෙන් කළ විශිෂ්ට මෙහෙවර නොවන්නට අපට මීට වඩා ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවාට කිසිදු සැකයක් නැත. එමෙන්ම මේ දිනවල සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනයන කිලිනොච්චි ප්‍රදේශයේ දිවියකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අල්ලාගැනීම කඩිනම් වන්නේ ද මේ හරහා ගෙන යනු ලබන ආන්දෝලනයන් නිසාය. මෙයින් ඔප්පු වන්නේ අන්තර්ජාලය අපට ලෝකය වෙනස් කරන්නට ඉඩ ප්රස්ථා සලසා දී ඇති බවයි.
අපේ රටේ වැඩිහිටි පරම්පරාවේ වැඩිදෙනා සිතා සිටින්නේ Phone එකෙන් කළ හැකි එකම දේ මල් කඩන එක පමණක් ම කියාය .එත් ජංගම දුරකතනයකින් ඊට වඩා දෙයක් කළ හැකිය. සමහරවිට ඔවුන් ජංගම දුරකතනයේ මුහුණ ඔබාගෙන කියවන්නේ ටෝල්ස්ටෝයිගේ ‘යුද්දය හා සාමය’ විය හැකිය.යෝසගේ ‘විසේකාරී’ විය හැකිය. සරත්චන්ද්‍ර ගේ ‘මළගිය ඇත්තෝ’ විය හැකිය. ජංගම දුරකතනයට අතොරක් නැතුව එන SMS නිව්ස් ඇලර්ට් එකකින් විය හැකිය.
ලංකාවේ තරුණ තරුණියන් ගූගල් සෙක්ස් සොයා රටට විලි ලැජ්ජාවක් කළැයි අපට දෙස් දෙවොල් තබන වැඩිහිටි පරම්පරාව, අපි ගූගල්වලින් හෙවූ එකම දේ සෙක්ස් පමණක් නොව ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනත් නසා ආයතනයේ තොරතුරු සොයන්නන් අතර ප්රමුඛ තැන සිටින බවත් අමතක කරන්නේ ය.
අන්තර්ජාලය යනු තොරතුරු නිධානයකි. අතීතයේ ශක්තිය බලය වුව ද අද බලය වන්නේ දැනුම යි. අප මේ සිටින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ සංක්‍රාන්ති සමයක ය. අන්තර්ජාල භාවිතයේ දී ඇතිවන සමාජ ගැටලු ආදිය අනාගතයේ දිනක සමාජය ඉගනගනු ඇත. ඩාවින් කිවූ ලෙස ම ලොව නොනැසී පවතින්නේ වඩාත් ශක්තිමත් හෝ බුද්ධිමත් ජීවීන් නොව වෙනස්වන තත්ත්වයක් හමුවේ වෙනස් වූ ජීවීන් ය.
මේ ලෝකය විශ්ව ගම්මානයක සිට විශ්ව පවුලක් හරහා අද විශ්ව පුද්ගලයකු බවට පත් වී ඇත. අද රටක් ලෙස අනාගත ලෝකයේ ඩිජිටල් ආර්ථිකයටඅවශ්ය සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්තරණ සිදුකළ හොත් අනාගතයේ දී ජයග්රාහකයන්වීමට අපට ද ඉඩ හසර විවර වෙනු ඇත.
ශානිකා රත්නායක