fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධර්මද්වීපය හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යටකළ යුතුද?

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 18:53

ධර්මද්වීපය හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යටකළ යුතුද?

ධර්මද්වීපය හිට්ලර්ලාගේ මිලිටරි පාලනයකට යටකරමුදැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රශ්න කර සිටිනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන් දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබමින් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස නිවේදනයක් නිකුත් කරමින්.

රටේ වැදගත් පිළිගත් නායක ස්වාමීන් වහන්සේ නමක විසින් කරන ලද ප්‍රකාශය බැරෑරුම් ද්වේශසහගත එකක් බවත් බුද්ධ දර්ශනය පිළිගන්නා සැබෑ බෞද්ධයෙකු වශයෙන් තමන් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අතිශය ලැජ්ජාවට පත්වන බවත් මුදල්  හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ජර්මනියේ නාසි පාලකයා වූ ඇඩොල්ෆ් හිට්ලර් පිළිබද හෝ ඔහු ගෙන ගිය මිලිටරි පාලනය පිළිබද අංශු මාත්‍රයක් හෝ දන්නා සිහිබුද්ධිය ඇති කිසිවෙකු එවැනි නිර්ලජ්ජිත ප්‍රකාශයක් නොකරන බව තමා තරයේ විශ්වාස කරන්නේ යැයි ද අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මෙම නිවේදනයේ දැක්වෙන්නේ ඒකාධිපති පාලනයන්ට අනුබල දීමට තම ශ්‍රාවකයන් වහන්සේලාට බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්ම දේශනාවේ කිසිදු තැනක උපදේශයක් හෝ අනුග්‍රහයක් දක්වා නැති බවයි. ඒ නිසාම දේවදත්ත පරම්පරාවේ භික්ෂුවකට හැර සැබෑ බෞද්ධ වශයෙන් කිසිදු භික්ෂූන් වහන්සේ කෙනෙකු මෙවැනි දුර්දාන්ත බියකරු ප්‍රකාශයන් සිදු නොකරන බව බෞද්ධ දර්ශනය ඉහළින්ම පිළිගන්නා බෞද්ධයෙකු ලෙස තමන් තරයේ විශ්වාස කරන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ලෝකයේ ඒකාධිපතිවාදී පාලන ඉතිහාසය තුළ ප්‍රචණ්ඩතම පාලකයා ජර්මනියේ ආඥාදායකයා වූ හිට්ලර් බවයි. ඒ පිළිබද කිසිදු විවාදයක් නැතැයිද එදා පැවති සමාජ ආර්ථික දේශපාලන ගැටලු හමුවේ ඇති එකම විසදුම ලෙස හිට්ලර් අදහනු ලැබුවේ ජර්මානු ජාතික වාදය බවද අදාළ නිවේදනයේ සදහන්.

දේශප්‍රේමීත්වය ඔසවා තබා ශූද්ධ වූ ආර්ය ජාතිය ජර්මානුවන්ය යන මතවාදය තුළ සිය බල ව්‍යාපෘතිය ගොඩනගා ගත් ආකාරය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ එදා මෙදා තුර මිනිස් ශිෂ්ඨාචාරයේ අතිශය කෘෘරතම පාලකයා හිට්ලර් බවයි. එසේම ඔහුගේ ම්ලේච්ඡ පාලන තන්ත්‍රය බවට පත් වූයේ නට්සි හමුදා නිලධාරීන් බව ද සමරවීර මහතා පෙන්වා දෙනවා. ලංකාවේ පැවති රාජපක්ෂ පාලනය තුළද මීට නොවෙනස් ගති ස්වභාවයන් පෙන්නුම් කරමින් පැවති බව රහසක් නොවන බව මෙම නිවේදනයේ දැක්වෙනවා. සමරවීර මහතා අවධාරණය කරන්නේ රාජපක්ෂලාගේ උදහසට ලක් වූ බොහෝ දෙනා රට හැර ගිය අතර එසේ නොගිය බොහෝ දෙනා ඝාතනයට ලක් වූ බවයි. අදටත් රාජපක්ෂ භීෂණයෙන් බැට කා යන්තමින් සිය ජීවිතය අහිමිකර නොගත් මිනිසුන් මීට සාක්ෂි දරනු ඇති බව ද සමරවීර මහතා සිය නිවේදනයෙන් සදහන් කරනවා.

2015 ජනවාරි මාසයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ පසු අප රටේ එක්තරා ජනප්‍රිය ගායිකාවක් ඇයි සර් මරලා හරි ගත්තෙ නැත්තේ යැයි කියා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළ බව රටේ කිසිවෙකුට අමතක වී නැතැයි ද මංගල සමරවීර මහතා පවසනවා එදා රාජපක්ෂවරුන්ට අවශ්‍ය වුවත් කර ගැනීමට නොහැකි වූ දේ ද එය බවත් එතැන් සිට එකී දුර්දාන්ත මතය රාජපක්ෂලා ලංකාවේ මුර දේවතාවුන් ලෙස සැළකෙන බෞද්ධ සංඝයා වහන්සේ අතරට ද කූඨ ලෙස ගෙන ගොස් ඇති බව මෙම කුප්‍රකට ප්‍රකාශය තුළින් පිළිඹිඹු වන්නේ යැයි අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අදහසයි. ඒකාධිපති පාලකයන්ගේ ස්වභාවයම සිය පරම්පරාවේ අයෙකු ඊ ළග පාලකයා වනු දැකීමයි. මහින්ද රාජපක්ෂ මහතා සුරුවමක් යැයි අදහන වන්දනා මාන කරන අසරණ මිනිසුන්ට ඔහු ඇවෑමෙන් තවත් සුරුවමක් අවශ්‍යව තිබෙන බව ද සමරවීර මහතා පෙන්වා දෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ ඒ අඩුව පුරවනු පිණිස ගෝඨාභය රාජපක්ෂව සුදු රෙදි අන්දවා කැදවාගෙන විත් නැවතත් රාජපක්ෂලා ප්‍රමුඛ මිලිටරි ජුන්ටාවකට අපේ රට බිලිදීමට කිසිදු පුරවැසියෙකු ඉඩනොදෙන බවටයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2018 18:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්