බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝෂියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන මස පස්වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. සමාගමේ සභාපතිවරයා වන ජෙෆ්රි ඇලෝෂියස් මහතාට ද ලබන මස 5 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් හා බැරකම් පිළිබද වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ලබාදුන් නියෝගයට අනුව එසේ වාර්තාව ඉදිරිපත් කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ඇය මෙම නියෝගය නිකුත් කළා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු නීතීඥ මඩුල්ල අධිකරණයට කියා සිටියේ සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටින බැවින් ඉදිරි නඩු දිනයේදී ඇප ඉල්ලා සිටින බවයි.