ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් ඇමෙරිකා ඩොලර් බිලියන 9.5 දක්වා ඉහළට ගෙන ඒමට රජය සමත් වී ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ කොළඹ දී පැවති ව්‍යාපාරික හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවේ ආයෝජන හා නව ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව විදේශීය නියෝජිතයන් දැනුවත් කිරීම ඊයේ කොළඹ පැවති ව්‍යාපාරික හමුවේ මූලික අරමුණ වුණා. රටවල් 20ක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගී වුණා. පසුගිය රජය සමයේ පැවති අස්ථාවර ආර්ථීක පසුබිම සමග අභියෝගයන් රැසකට මුහුණ දී ආර්ථීකය නාගසිටුවීමට වත්මන් රජය පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
” ශ්‍රී ලංකාවේ ආයෝජන සහ නව ව්‍යාපාර කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් රැසක් සළසාදී තිබෙනවා. විනිවිදභාවයකින් යුතු ආකර්ශනීය ආයෝජන සහන පැකේජ ලබාදීම එක් පියවරක්. නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම වෙබ් අඩවිය හරහා එක්දිනක් තුළ අවසන් කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව යටතේ වඩාත් සුභවාදී සහ ආකර්ෂණීය පරිසරයක් තුළ වෙළඳ සහ ආයෝජන කටයුතු කරගෙන යෑමට දැන් හැකියාව තියෙනවා. 2018 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක කළ දේශීය බදු පනත නව මුහුනවරක් ගැනීමත් සමග ආදායම් බදු ගෙවීම් විධිමත් සහ විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වනවා. දශක ගණනාවකට පසු 2017 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රාථමික අයවැය අතිරික්තයක්ද වාර්තා කළා.”