fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්‍ෂණය

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:12

සහල් නිෂ්පාදනය නංවන්න චන්ද්‍රිකා තාක්‍ෂණය

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්‍ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබා දීමට සුදානම් බව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පොරොන්දු වී තිබෙනවා. ඒ මහතා මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණු අවස්ථාවේදීයි.

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය මතෙව් මෝරෙල් මහතා ඇතුලු නියෝජිත පිරිසක් අද (19) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. කලාපයේ රටවල් මුහුණ දී ඇති දේශගුණික විපර්යාස සමග ජාතික පරිභෝජනය සඳහා සහලින් ස්වයංපෝෂිත වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරුණා. මෙම සාකච්ඡාවේදී ආචාර්ය මතෙව් මෝරෙල් මහතා සඳහන් කළේ මෙරට සහල් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙන්ම පසු අස්වනු හානි අවම කර ගැනීම සඳහා නවීන තාක්‍ෂණික සහාය ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි. සහල් නිෂ්පාදනයේ අගයදාමය ප්‍රවර්ධනය සඳහා ද නව තාක්‍ෂණික ක්‍රම හඳුන්වා දීමට අපේක්‍ෂා කරන බව ඔහු කියාසිටියා.

ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය කාල සීමාව තුළ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයේ පසුබෑමක් සිදු වූ බවයි. එම අභියෝගයන්ට මුහුණ දීම සඳහා නව තාක්‍ෂණික දැනුම මෙන්ම අත්දැකීම් කලාපයේ සෙසු රටවල් සමග හුවමාරු කර ගැනීමට අපේක්‍ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළා. තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා පැවසුවේ පිලිපීනයේ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනය නැරඹීම සඳහා එහි යාමට අපේක්‍ෂා කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ වාරි ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය දක්වා තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති හෙළ වාරි පුරාවත ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම අද (19) පෙරවරුවේ සිදුවුණා. ඒ ඒ විෂය ක්ෂේත්‍ර සඳහා ප්‍රවීණත්වයක් උසුලන හා දිවයිනේ කීර්තිමත් විද්වතුන් 25 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. අදාළ ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතායි. මෙම ග්‍රන්ථය ජනගත කිරීම සඳහා මහවැලි කලාපවල වාරි ක්ෂේත්‍රයට අදාළ සියලු නිලධාරීන් දැනුවත් කර සුදුසු වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 19, 2018 18:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්