ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා 2 ක් කොළඹ වරායට ඊයේ සේන්දු වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව එම නෞකා පිළිගත්තා.ප්‍රංශ රාජකීය නාවික හමුදාවට අයත් සර්කෝෆ් සහ ඩික්ස්මුඩ් යන නෞකා මෙසේ දිවයිනට පැමිණියේ සුහද සංචාරයක් සඳහායි.
කපිතාන් ජීන් පෝචර් මහතා ඩික්ස්මුඩ් නෞකාවේ අණදෙන නිලධාරියායි. කමාන්ඩර් ක්‍රිස්ටීන් රිබේ සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනිය ලෙස කටයුතු කරනවා. ඒ අනුව කාන්තා නිලධාරිනියක අණදෙනු ලබන යුද නෞකාවක් කොළඹ වරායට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරිනියක යුද නෞකාවක සම්බන්ධතා නිලධාරිනියක ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ද මෙය ලෙසයි සටහන් වුණේ. සර්කෝෆ් නෞකාවේ අණදෙන නිලධාරිනී කමාන්ඩර් ක්‍රිස්ටීන් රිබේ මහත්මිය නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවුණා. මේ අතර ප්‍රංශයේ සහ මෙරට නාවික හමුදා නිලධාරීන් එක්ව වෘත්තීමය මට්ටමේ අදහස් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් ද පැවැත්වූවා. මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය මැඬලීම් මෙහෙයුම් හා යුදමය නොවන මෙහෙයුම් සම්බන්ධ තත්ත්වයන් පිළිබඳවයි මෙහිදී අවධානය යොමු වුණේ. එක්දින සංචාරයක් සඳහා පැමිණි නෞකාව ඊයේ සවස දිවයිනෙන් පිටත්ව ගියා.