පුවතක්: –
“A jealous husband is facing life in prison after chopping off his wife’s fingers because she began studying for a degree without his permission.”
විවාහය කියන්නේ පූජනීය බැඳීමක්.ඒ පූජනීයත්වය ගැහැණියකට කොයිතරම් සමීපව දැනුණත් ඇතැම් විට පුරුෂ පාර්ශ්වය එය වෙනස් විදියට දකින අවස්ථා වැඩියි.
තමන් ආදරය කරන හෝ විවාහ වෙන්න ඉන්න පෙම්වතියට ඊර්ෂ්‍යා කරන පෙම්වතුන් වගේම පෙම්වතියන් ද මේ සමාජයේ සිටිනවා. ඇතැම් විට ඔහු හෝ ඇය තමාට වඩා ඉදිරියට යාවි, තමාට වඩා උසස් හෝ වෙනස් කෙනෙකු සමඟ හාද වේවි වැනි අඥාන මතවල පැටළෙමින් ඔවුන් විවිධ නීති රීති අනෙකා වෙත පනවන්න පුළුවන්.
එවැනි අවස්ථාවලට බහුතරයක් ලක් වෙන්නේ කාන්තාවන්.තමා හා සමානවම ඉගෙන ගත්ත බිරිඳට දරුමල්ලන් බලා කියා ගන්න ගෙදරට හිර කරන පුරුෂයන් වෙනත් ස්ත්‍රීන් ට ප්‍රේම කිරීම අද සුලභ සිදුවීමක් බවට පත් වෙලා. ඔවුන් නිතරම සිතනවා ගැහැණියක් වුණාම රෙදි ටික හෝදගෙන කෑම පිසගෙන දරුවන් බිහි කරන යන්ත්‍රයක් විදියට නිවාස අඩස්සියේ සිටීමට තමයි ගැහැණිය මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ කියලා.
කොහොම වුණත් ඒ විදියට තමන්ගේ බිරිඳ ඉගෙන ගැනීමෙන් වළක්වා ගන්න එහෙමත් නැතිනම් ඉගෙන ගන්න තිබුණ ඇගේ ආශාවට ඊර්ෂ්‍යා කළ පුරුෂයෙකු ඇයගේ දකුණු අතේ ඇඟිලි 5 ම කපා දැමූ සිද්ධියක් පහුගිය කාලයේ වාර්තා වුණා.
ඇය නිතරම කියන්නේ කවදා හරි ඉගෙන ගන්න ඕනේ කියන එක.මේකට ඇගේ සැමියා කැමති වෙන්නේ නැහැ.පසුව ඇය සැමියාගේ අවසරය නැතිවම උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු කරන්න සූදානම් වෙනවා.
මෙයට ඇගේ සැමියා මුලදි විරුද්ධත්වය පෑවත් පසුව නිහඬ වෙන්නේ හොඳකට නෙවෙයි කියන එක තේරුම් ගන්න ඇයට පුලුවන් වුණේ නැහැ.ඇය ඔහුට ආදරය කළ නිසා වෙන්න ඇති.(හැම ගැහැණියක් ම තමන්ගේ ආදරය කෙරෙහි ලෝකයක තරම් විශ්වාසයක් තබනවා.)
කෙසේ වුවත් ඔහු මැදපෙරදිග වැඩ කරලා ආපහු සිය රටට එන්නේ බිරිඳ බලන්න.ඔහු ඇයව ඉතාම කපටි විදියට පොළඹවා ගන්නවා…..
ඔහු – “මම ඔයාට තෑග්ගක් ගෙනාවා.”
ඇය – “මොකක්ද?”
ඔහු – “මුලින් ඇස් දෙක වහ ගන්නකෝ.”
ඇය – “ඇයි අනේ?ඔයා මාව පුදුම කරන්නද හදන්නේ?”
ඔහු – “ඔව්, ඇස් දෙක විතරක් නෙවෙයි මම ඔයාගේ කටත් බඳිනවා.”
ඔහු ඇයගේ මුව ප්ලාස්ටර් කරනවා.ඇස් බඳිනවා.
ඔහු – “දැන් ඔයාගේ අත් දෙක දිග අරින්න.”
ඇය අත් දෙක දිගු කරන්නේ ඔහු ඇයට ගෙන ආ තෑග්ග ගැන සිතමින්. (සිතින් මවා ගන්න ඇය අත් දිගු කරමින් සිටින විදිය)
ඒත් ඔහු….
ඇයගේ දකුණු අතේ ඇඟිලි කපා දමනවා.ඇයට කෑ ගැස්සනෙවා.ඒත් හඬ අන් අයට ඇසෙන්නේ නැහැ.
“හහ් උඹ හිතුවෙ ලෝකෙ අල්ලන්න නේද ඉගෙනගෙන??? ඔන්න මං උඹට හොඳ වැඩක් කළා…..”
ඔහු වියරුවෙන් හිනා වෙමින් මේ වචන කියද්දි ඇයට මොනවා හිතෙන්න ඇතිද???
මේ සියල්ල අතරේ තවත් දෙයක් වෙනවා.අසල්වැසියෝ ඇයව රෝහලට ගෙනියනවා. ඒත් කපා දමපු ඇඟිලි නැවත බද්ධ කරන්න තියා කිසිවක් කළ නොහැකි තරමට සෛල මිය ගිහින්.
ඇගේ නැන්දම්මා ඒ කියන්නේ සැමියා ගේ අම්මා ඒ ඇඟිලි සියල්ල කුණු කූඩයට දමන්නේ නැවත බද්ධ කරන්නට නොහැකි වන අයුරින්. ටිකක් හිතලා බලන්න….කෙනෙකුට තමන් ආදරය කරන කෙනෙක් ට මෙහෙම කරන්න පුළුවන්ද?????
ඔබ දැන් කියයි බැහැ කියලා… නැහැ පුළුවන්…ඉතාම දරුණු හිතක් තියෙන කෙනෙකුට පුළුවන් තමන්ගේ පෙම්වතිය හෝ බිරිඳගේ බෙල්ල මිරිකලා මරලා දාන්න.වාසනාවක් තිබුණොත් ඇයගේ හුස්ම යන්න මොහොතක් තියලා හරි ඇගේ පණ බේරෙයි.
මේ කතාව අපිට ඇසෙන්නේ බංගලාදේශයෙන්.ඇය 21 හැවිරිදි “හවා අක්තර්”…
ලස්සන පුංචි කෙල්ලෙක්.අඩු වයසින් විවාහ වුණ නමුත් කවදා හෝ විශ්ව විද්‍යාලයට යන්න හීන මවපු ඔබ මම වගේ ම ගැහැණියක්.ඇගේ සැමියා ඉගෙන ගත්තේ 8 වසරට පමණයි.නමුත් ඇය උසස් අධ්‍යාපනය ලබන මට්ටමට ඉගෙන ගත්තා.ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවකින් ඔහු මේ දේ කළත් බංගලාදේශයේ නීතිය අනුව ඔහුට අංග ඡේදනය යටතේ සිර දඬුවම් පනවනවා. ඒත් මානව හිමිකම් සංවිධාන ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් #LifeImprisonment අධිකරණයෙන් ඉල්ලා සිටිනවා …..
අද වෙද්දි මේ 30 හැවිරිදි පුරුෂයා ඉන්නේ ජීවිතාන්තය තෙක් සිර දඬුවම ලබමින්.
ඔව්, ගැහැණිය සෑම විටම මනසින් ශක්තිමත්.මොන බාධකය හමුවේ වුණත් ඇයට පුළුවන් මහා සුළි සුළඟකට වුවද නොසැළෙන සුවිශාල ගසක් වගේ ශක්තිමත් ව ජීවිතයට මුහුණ දෙන්න.කොහොම වුණත් මානව හිමිකම්, අයිතිවාසිකම්, කාන්තාවටන්ට එරෙහි සියලුම ආකාරයේ වැරදි පිටු දැකීමේ සන්ධාන මඟින් මීට වඩා මෙවැනි සිදුවීම් ගැන සැළකිලිමත් වෙන්න ඕනේ.ඒ ඇය දුර්වල නිසා නොවෙයි.ඇය සමාජයේ ගෞරවයට පාත්‍ර විය යුතු කෙනෙක් නිසා.සෑම ගැහැණියක් ම කවදා හෝ මවක්.සෑම පුරුෂයෙකුටම තමන්ගේ මවට ආදරය කළ හැකි නම්, ගෞරව කළ හැකි නම්, ඒ හා සමානවම කවදා හෝ මවක් වන කාන්තාවට ආදරය ගෞරවය කළ නොහැකි ඇයි???
මේ සියල්ල මැද සියල්ල දරා සිටින ගැහැණිය ට සාධාරණය ඉටු කළ යුතු වන්නේද මේ පුරුෂ මූලික සමාජය විසින්මයි. එසේ වුවහොත් ඉරානයේ ගම්මානයක ගල් ගහලා නිකරුණේ මරපු සොරායා මනුච්ටි, පුත්තලමේ පුටුවක බැඳලා ගිනි තියපු තරුණිය සහ බංග්ලාදේශයේ හවා අක්තර් ඇතුළු සියලු කාන්තාවන් ට සාධාරණය ඉටු වේවි…..
අතේ ඇඟිලි අහිමි වෙලා පණ බේර ගත්ත ඇය අද වෙද්දි පවසන්නේ මෙහෙම දෙයක්.” මගේ අතේ ඇඟිලි නැති වුණා කියලා ඉගෙන ගන්න බැරි වෙන්නේ නැහැනේ.මම ඉගෙන ගන්න තියෙන ආසාව අත් හැරලා නැහැ.කොහොම හරි ඉගෙන ගන්නවා.”
ඔව්, ඔබ හිතනවාටත් වඩා ගැහැණිය සෑම විටම ශක්තිමත් ……
– සුපුන් භාග්‍යා වීරකෝන් –