fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්පිටියේ දූපත් 13 කට කඩිනම් සංවර්ධනයක්

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 18:34

කල්පිටියේ දූපත් 13 කට කඩිනම් සංවර්ධනයක්

කල්පිටිය ආශ්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ පුත්තලම මදුරංකුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ග්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට මැතිඇමතිවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස් බී නාවින්න යන මහත්වරුන් වෙත උපදෙස් ලබා දුන්නේ කල්පිටිය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කර ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි. ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ ක්‍රියාත්මක වන අන්දම හා එහි ප්‍රගතිය පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වුණා.

ප්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණා. එහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ස්ථිර විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසයි. ප්‍රදේශයේ කිරි නිෂ්පාදන ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණා. කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ඒ අනුවයි. ප්‍රදේශයේ පළතුරු ගොවීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.

මීට අමතරව ඉස්සන් හා ලුණු කර්මාන්තය ආශ්‍රිතව මතුවී ඇති ගැටලු පිළිබඳව ද කරුණු ඉදිරිපත් වූ අතර එම කර්මාන්ත සිදු කරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබා දෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර අදාළ වාර්තාව කඩිනමින් ලබා දෙන ලෙසයි. පොල් ඉඩම් කට්ටි කිරීම තහනම් කිරීමට පසුගියදා රජය ගත් තීරණය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් කරුණු විමසා සිටියා.

මෙහිදී වයඹ සියලු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබා දෙන බව ඔවුන් එහිදී කියාසිටියා.

පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබා දෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් හා පුත්තලම දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ප්‍රදානය කෙරුණා. සීමා සහිත කොන්කඩවල වට්ටක්කා හා සෙසු බෝග වගා කරන ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ සීමාසහිත කාගීල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් කළා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2018 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්