විමල්ට එරෙහි නඩුව කල් යයි
Related Articles
මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන ධාවනයට බාධා ඇති වන සේ උද්ඝෝෂණයක් සංවිධාන කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුලු හත් දෙනෙකුට එරෙහි නඩුව අද යළි කැඳවූවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දීයි.
ජාතික නිදහස් පෙරමුණ 2016 වසරේ පෙබරවාරි 6 වනදා කොළඹ බෞද්ධාලෝක මාවතේ දී මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිවයි. නිසි බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ගවල රථ වාහන ධාවනයට බාධා පමුණුවමින් මෙය සංවිධාන කර තිබූ බවට පොලීසිය චෝදනා කර සිටිනවා. මේ සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ විමල් වීරවංශ, වීරකුමාර දිසානායක,ජයන්ත සමරවීර, පියසිරි විජේනායක,රොජර් සෙනෙවිරත්න,මොහොමඩ් මුසම්මිල් යන සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. නඩුවේ හත් වන සැකකරු වන ලලිත් චමින්ද නමැත්තා මුල සිටම අධිකරණයේ පෙනී සිට නැහැ. එබැවින් ඔහු නොමැතිව නඩුව පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න පිළිබඳ ඉදිරි දින අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලීසියට නියෝග කළා. මෙම නඩුව සැප්තැම්බර් 17 වනදා යළි කැඳවීමට ද නියෝග කෙරුණා.