fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට සුළං අඩුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 19:04

හෙට සිට සුළං අඩුවෙයි

සබරගමුව,මධ්‍යම,බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද (10) දිනයේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හෙටින් පසු සුළං තත්ත්වයේ අඩුවීමක් සිදු වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

කසුන් පැස්කුවල්

කුරුණෑගල වැවගෙදර සහ සාරගම යන ප්‍රදේශවල ඊයේ උදෑසන හැමූ සුළි සුළඟින් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම අද (10) සිදු කෙරුණා. ඒ වාරිමාර්ග සහ ජලසම්පත් හා  ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. හානියට පත් නිවාස සඳහා පළමු අදියරේදී රුපියල් දසදහසක වන්දි මුදලක් ගෙවීම මෙහිදී සිදු වුණා. අදාළ දේපළවලට සිදු වූ හානි නිසි පරිදි ගණන් බැලීමෙන් පසු රුපියල් ලක්‍ෂ 25 ක් උපරිමයට යටත්ව වන්දි ගෙවීම් සිදු කරන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ.

අමාත්‍ය දුමින්ද දිසානායක

වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා. කුරුණෑගල රතුකුරුස සංගමය විපතට පත් ජනතාවට ලබා දුන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමක් ද අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

මේ අතර අද (පෙරවරුවේ හමා ගිය සුළි සුළඟකින් උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශ කිහිපයක නිවාසවලට හානි සිදුවුණා. මීගහපැලැස්ස, උතුරුදුනකදෙණිය, උඩදෙණිය ඇතුලු ප්‍රදේශ කිහිපයක නිවාස 90 කට පමණ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ හේතුවෙන් පුද්ගලයන් 280 දෙනෙකු පමණ බලපෑමට ලක්වුණා. අනතුර සැල වූ වහාම විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට හා නිවෙස් අලුත්වැඩියා කර ගැනීමට උපකාර සැපයීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පියවර ගත්තා. සිදු වූ හානිය පිළිබඳ තක්සේරු සිදු කර වන්දි ලබා දීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ.

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශ තුනක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඉහළ කොත්මලේ  සහ විමලසුරේන්ද්‍ර ජලාශවල  වාන් දොරටුව බැගින් විවෘත කර ඇති අතර  ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් පහත් බිම් වල ජීවත් වන ජනාතාව විමසිල්ලෙන් සිටින ලෙසයි විදුලිබල මණ්ඩලය දැනුම් දෙන්නේ.  එමෙන්ම කාසල්රි, මාඋස්සාකැලේ, කැනියොන් ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

පුත්තලම හා ඒ අවට ප්‍රදේශවලට අද අලුයම් කාලයේ  හමා ගිය සුළගකින් අධි බලැති විදුලි රැහැන් පද්ධියකට හානි සිදු වී තිබෙනවා. පුත්තලම ප්‍රදේශය පුරා විදුලි බලය ඇණහිට ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඊයේ (9) රාත්‍රියේ හමා ගිය දැඩි සුළඟකින් හලාවත ආරච්චිකට්ටුව මුතුපංතිය දූපතේ නිවාස 4 කට හානි සිදුවුණා. බෝට්ටු 5 කට, බෝට්ටු එන්ජින් 2 කට, තෙප්පමකට හා විදුලි රැහැන් පද්ධතියකට ද හානි සිදුව ඇති බවයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මුතුපංති දූපතේ මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවා.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 10 කට පමණ දැඩි සුළඟින් හානි සිදු වුණා. ග්‍රාම නිලධාරීන් ඔස්සේ වාර්තා ලබාගෙන විපතට පත්වූවන්ට කඩිනමින් සහන ලබා දෙන බවයි ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම් යූ නිශාන්ත මහතා කියා සිටියේ. අවදානම් සහිත ගස් ඉවත් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2018 19:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්