ජීවිතය… මහා පුදුමාකාර දෙයක්. ඇතැමුන් ජීවිතය සොයනවා.තවත් අය ජීවිතය නැති කර ගන්නවා. තවත් අය ජීවිතය අර්ථවත් කර ගන්න තමන් ට කළ හැකි උපරිම දේ සිදු කරනවා. මේ කියන හැම කෙනෙක් ම ජීවිතය කියන අකුරු හතර ඇතුළේ හමුවන ප්‍රශ්නාර්ථ සමඟ අතරමං වෙනවා. ඔව්, වෙලාවකට ජීවිතය කියන්නේ මහා ලොකු ප්‍රශ්නාර්ථයක් මිත්‍රයා. ඒ ප්‍රශ්නයට උත්තරයක් හරියට දෙන්න අපට පුළුවන්ද? (සාපේක්ෂයි නේද පිළිතුර?) උත්තරය මොකක් වුණත් ප්රශ්නය හරියට තේරුම් අරගෙන ෆේල් නොවී ලියන්න පුළුවන් විභාගයක් කියලා මම මගේ අදහස ජිවිතය ගැන දෙනවා. (ඔබ මොකද හිතන්නේ?????)
තමන්ටවත් නොතේරෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න ගිහින් දහ අතේ කල්පනා කරමින් ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න මේ ලෝකේ නොදන්නවා වුණත් දන්නවා වගේ උත්තර ලියලා ජීවිත විභාගය සමත් වුණ කෙනෙක් ගැනයි මේ සටහන.
මේ කතාවේ ඉන්නේ තමන් ගේ අතපය දෙකම උපතින් ම අහිමි වුණ ලස්සන ප්‍රියමනාප තරුණයෙක්. දැඩි කිතුණු භක්තිකයන් වුණ තමන් ගේ දෙමාපියන් ට දෑත් දෙපා අහිමි දරුවෙකු වන තමාව හිමි කර දීම පිළිබඳව දෙවියන් සමඟ වෛරයෙන් පසු වුණ කෙනෙක්. දෙවියන් ට තමන් කෙරෙහි කිසිම ආදරයක් කරුණාවක් නැහැ කියලා හිතලා දේවභාෂිතය පවා ප්‍රතික්ෂේප කරපු කොල්ලෙක්. ජීවිතේ තීරණාත්මක කාල වකවානුවක් තමන් ගැනම කිසිම තක්සේරුවක් නැතිව ප්‍රතික්ෂේප වීම් හා බිඳ වැටීම් මැද අසරණ වුණ කොල්ලෙක්.තේරෙන්නේ නැති ප්‍රශ්නවලට උත්තර ලියන්න ගිහින් ඇන ගන්න බව දැන ගන්නා ඔහු අවසානයට තමන් විසින් ම ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයන්න ඉගෙන ගන්නවා.
ඔහු නික්…. නික් වුජිසික්(Nick Vujicic).
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Nick-Vujicic-2018.jpg”]
“නිකොලස් ජේම්ස් වුජිසික්”( Nicholas James Vujicic) ඉපදෙන්නේ 1982 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 04 වැනිදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදීයි.උපතින් ම ඔහු රෝගී දරුවෙක් වුණා. “Tetra-amelia syndrome” කියන දුර්ලභ රෝගයෙන් ඔහු පෙළුණා.මේ රෝගයේ ලක්ෂණය තමයි උපතින් ම දෑත් සහ දෙපා අහිමි වීම. නික් තමන්ට බහ තේරෙන වයසේ ඉඳලාම අනිත් අයට වගේ තමන් ට හරියට ඇවිදින්න බැරි වීම ගැන පසුතැවිලි වුණා.හරියට කන්න බොන්න බැරි, තමන් ගේ ආදරණීයයෙක් ව තමන් ගේ අතින් අල්ලගෙන වැළඳගන්න බැරි, අනිත් තරුණයන් වගේ දුව පැන ඇවිදින්න බැරි මේ ජීවිතය මොකටද කියලා ඔහුට හිතුණා.වෙනෙකක් තබා ඔහු ලෝකය මැවූ දෙවියන් එක්ක වෛරයෙන් පසු වුණා.
“ මම විකෘතියක්.මම නිකන් ම නිකම් ලී කොටයක් විතරයි.මට මොනවාද පුළුවන්?? මුකුත් බෑ… මගේ ජීවිතය මහා විකාරයක්.” ඔහු හිතුවේ එහෙම. නික් පාසලේ දි සෙල්ලම් කරන වෙලාවට පිට්ටනියේ තිබුණු ගස් අස්සේ හැංගුණා.සංගීත කාමරයට යන්න ඕනෙ වෙලාව මඟ ඇරියා. මේ හැමදෙයක් ම මඟ අරිමින් හිටියත් ඔහුගේ සම වයසේ පසුවන කිසිවෙක් ට කළ හැකි කිසිම දෙයක් ඔහුට කිරිමට බැරි වුණා.දවස් ගණන් ඔහු ඇඬුවා.ඉකි ගසමින් ඇඬුවා. ඒත් ඔහු පැරදුණාද?? ජීවිතේ නැති කර ගත්තාද? ගඟේ මූදේ පැන්නාද? අධෛර්යමත් වුණාද? ඔව් මිත්‍රයා.එක් වරක් ඔහු සියදිවි හානි කර ගන්නත් ගියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Reuters-Nick-Vujicic.jpg”]
එක දවසක් ඒ කියන්නේ ඔහුට වයස අවුරුදු 17 වෙද්දි ඔහුගේ අම්මා පත්තරයක තිබුණු අබාධිත පුද්ගලයෙක් තමන් ගේ කටයුතු ඉතාම අපහසුවෙන් කටයුතු කරගෙන යන ආකාරය පිළිබඳව. එදා පටන් ඔහු කිසිම විදියකින් ප්‍රශ්නවලින් පැනලා ගියේ නැහැ. ඔහු හැමදෙයකටම හොඳින් මුහුණ දෙන්න අවසානයට තීරණය කළා. ඔහු ඒකට හොයා ගත්තා ක්‍රමයක්.ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්න කෙටි ක්‍රමයක්.මුලින් ම තමන් ගේ ශාරීරික ප්‍රශ්නවලට එහා ගිහින් තමන් තුළම තියෙන අඩුපාඩු මොනවාද? කියලා ඔහු හොයලා බැලුවා.
හිතින් වැටෙන හැම වෙලාවකම ඔහු තමන් වෛර කළ දෙවියන් ට ආදරය කරන්න පටන් ගත්තා. ශුද්ධ වූ බයිබලය කියෙව්වා.පිළිගත්තා. තමන් ට ජීවිතය වෙනුවෙන් අරමුණක් දෙන්න කියලා ඔහු දෙවියන් ට යාඥා කළා.ඒ අතරේ තමන්ගේ හුදෙකලා ජීවිතයට විරාමයක් තබන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ම ක්‍රීඩා කරන වෙලාවට හෝ සංගීත කාමරයේ දී හෝ තම සඟයන් මඟහැර ගිහින් අහුමුළුවල සැඟවෙන තියරිය ඔහු අතහැරියා.වැහිලා තිබුණු තමන් ගේ හදවතේ දොරඟුළු විවර කළා.මුළු ලෝකයටම ඉන් ඇතුළට එන්න ඔහු ඉඩ හැරියා. හැම කෙනෙක් එක්කම මිත්‍රශීලි වුණා.පන්තියේ ඇතැම් විෂයයන්වලින් ඔහු අනික් හැම කෙනෙක්ටම වඩා ඉදිරියෙන් හිටියා. පිහිනීම ඔහු ගේ ප්‍රියතම ක්‍රීඩාවක් බවට පත් වුණා. මෙහෙම ඉද්දි ඔහුට තේරුණා ඔහු එක්තරා සුවිශේෂී දෙයකට අති දක්ෂයෙක් කියලා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/maxresdefault.jpg”]
කථීකත්වය…. ඔහු ට පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව තිබුණා.
සියදහස් ගණනින් මිනිසුන් ඔහුගේ දේශනවලට එක්රොක් වුණා. නික් පසුකාලීනව ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයෙන් වානිජ උපාධියක් ලබා ගත්තා.2007 අවුරුද්දේ නික් විසින් මිනිසුන් දිරිගන්වන, ජීවිතය කියා දෙන ධනාත්මකව හිතන්න මිනිසුන් ව යොමු කරන ආයතනයක් පටන් ගත්තා.2012 වසරේදී නික් විවාහ වෙනවා. ඒ “කානෙයි මියහාරා” (Kanae Miyahara) සමඟ. ඇය දෑත් දෙපා හොඳින් තිබෙන ඉතා ම රූමක් තරුණියක්.පළමු බැල්මෙන් ම එකිනෙකා කෙරෙහි ආදරයෙන් වෙළුණු යුවළක් විදියට ඒ ප්‍රේම කතාව හඳුන්වන්න පුළුවන්. අද වෙද්දි ඔවුන් ට දරුවන් සිව් දෙනෙක් ඉන්නවා. ඔහු ආදරණීය සැමියෙක්, පියෙක්… ලෝකය පුරා උණු කැවුම් වගේ විකිණෙන පොත්,විවිධ පුණ්‍යායතනවල හිමිකරුවෙක් වන ඔහු අවුරුදු 35 වෙද්දි ඔහු ගේ සිහින සැබෑ කරගෙන තියෙනවා.
බලන්න..ජීවිතය මොනතරම් නම් පුදුමාකාරද?අතක් පයක් නෙවෙයි, දෑත් දෙපා යන කිසිවක් නැති නිකන් ම නිකම් ශරීර කොටසක් විදියට මේ ලෝකයට උපදින නිකොලස් හෙවත් නික්, දෙවියන් විසින් උරුම කළ දෛවයෙන් එහාට ගිහින් මේ අමාරු ජීවිත කන්ද තරණය කරනවා.මේ කතාව ලියන්න පහසු වුණත් මේ කතාවේ කතානායකයා විඳි අත්දැකීම් ලෙහෙසි පහසු නැහැ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/BARCROFT__vujicic_efg6462_67_large.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/umudunu_kaybetme_sozunun_en_guzel_ornegi.jpg”]
අභියෝගවලට මුහුණ දෙන්න බැරිව ජීවිතේ පුංචිම වයසෙදි දිවි නසා ගත්ත රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, විවිධ ලේඛකයින් විතරක් නෙවෙයි රජවරු ගැන පවා අපි අහලා තියෙන කාලයක නික් කියන්නේ හොඳ උත්තේජනයක්.
ප්‍රශ්න ගැටලු තියෙන අය ඔහු ළඟට ඇවිත් ඔහුව වැළඳගෙන හඩා වැටෙද්දි පෙරළා ඔවුන් ව වැළඳගන්න, තමන් ගේම දරුවන් එක්ක සෙල්ලම් කරන්න, ආදරය කරන අය වෙනුවෙන් කාලය වැය කරන්න ඔහුට අත් දෙකක් තබා කකුල් දෙකක්වත් නැහැ. එහෙම මිනිහෙක් සාර්ථකත්වයේ හිනිපෙත්තටම යද්දි අතපය හොඳින් තියෙන අපි ට මොනවා කරන්න බැරිද? නික් තමන් ගේ ජීවන ප්‍රශ්න පත්‍රයට දන්න දන්න විදියට උත්තර ලිව්වා. ඒත් සමහර ඒවට කොහොමටවත් උත්තර ලියන්න බැරි බව තේරෙද්දි…ඔහු ඒ ප්‍රශ්නවලට කපටි උත්තර ලියන්න පුරුදු වුණා.කෙනෙක් ට ලේසියෙන් හරි වැරැද්ද හිතා ගන්න අමාරු උත්තර ලියන්න ගත්තා. අළු දූළි මැද නැගී සිටින ෆිනික්ස් කුරුල්ලෙක් වගේ වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/Blog_Ability_FEB-15-770×560.png”]
ඉතින් නික්ගේ ජීවිතයෙන් අපිට ගන්න පුළුවන් බොහෝ දේ තියෙනවා.1+1=2 කියන්න පුළුවන්. 1+1=11 කියන්නත් පුළුවන්.1+1=1 කියන්නත් අපට පුළුවන්.මේ ලෝකේ තියෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර තීරණය වෙන්නේ අපි ඒ ප්‍රශ්නයට පිළිතුරු ලියන විදියත් එක්ක.ඒ ප්රශ්නය දිහා බලන විදියත් එක්ක. ෆිනික්ස් කුරුල්ලෙක් වෙන්න අපි හැම කෙනෙක්ට ම පුළුවන්.කරන්න තියෙන්නේ එකම දෙයයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/nikunisu.jpg”]
“Out Of Frame” හිතන්න පුරුදු වෙන්න. මොකද මේ “ලෝකය වෙනස් කළ හැම කෙනෙක් ම රාමුවෙන් පිට හිතපු ෆිනික්ස් කුරුල්ලෝ…..”
- සුපුන් භාග්‍යා වීරකෝන්