දළ දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමත්, ජීවන තත්වය වැඩි දියුණු කිරීමත් සිදු කළ යුතු බවත් මේ සඳහා එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කොට ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.කොළඹ ගලදාරි හෝටලයේ පැවති ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මෙහෙයවූ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මේලනයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,
” ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය අද වන විට තොරතුරු තාක්ෂණය කෙරෙහි තම අවධානය යොමු කොට තිබෙනවා. මේ ආණ්ඩුව විසින් මීළඟ දශකයේ ආර්ථික සංවර්ධන ඉලක්කය වශයෙන් දැනුම පදනම් කරගත් ආර්ථික සංවර්ධනය හඳුනාගෙන ඇති අතර ඒ අනුව සිය කටයුතු කරගෙන යනවා. ඒ සඳහා වන එක් අවශ්‍යතාවයක් නම් ඩොලර් බිලියන 22ක අපනයන ඉලක්කය ලබා ගැනීමයි. අප මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා. අපේ ආදායමෙන් වැඩි කොටසක් අප ලබාගත් ණය ආපසු ගෙවීමට යොදවනවා. අපගේ ගෙවීම් ශේෂය ද ඒ අතර සැලකිය යුතු වෙනවා. කෙසේ හෝ අපගේ ණය ගෙවා දැමීමට විදෙස් ආධාර, ණය ලබා ගැනීමට සිදු වෙනවා. ඒ අනුව අපට ගැටළුවක් පවතින්නේ රට තුල ගැවසෙන මුදල් සම්බන්ධයෙන් පමණයි. ණය ගෙවා දැමීමට අපට ප්‍රමාණවත් විදෙස් සංචිත තිබෙනවා.
දෙවනුව අපි අපගේ ජනතාව වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමත්, ජීවන තත්වය වැඩි දියුණු කිරීමත් සිදු කළ යුතු වෙනවා. මේ කාරණා දෙකම එකකට එකක් සම්බන්ධයි. මේ සඳහා එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පත්කොට ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතු වෙනවා. සැපයුම් සේවා කර්මාන්තයත්, සන්නිවේදන කර්මාන්තයත් වැඩි දියුණු කොට කොළඹ වරාය නගරය, වෙරළබඩ මුල්‍ය මධ්‍යස්ථානය බවට පත්කිරීමට අවශ්‍යයි. කොළඹහා හම්බන්තොට වරාය අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් මත්තල ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපළක් කිරීමටත් පියවර ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි. දියුණු යටිතල පහසුකම් ඔස්සේ අපට ඉන්දීය සාගරයේ බලවත් මධ්‍යස්ථානයක් බවට පත්වීමේ හැකියාව තිබෙනවා.
ගොඩබිම් මාර්ග ජාලය ගත්විට මහනුවර සිට හම්බන්තොට දක්වා මාර්ග සංවර්ධන කටයුතු සිදුවෙමින් තිබෙනවා. අනෙක් කාරණය නම් සංචාරක කර්මාන්තය දියුණු කිරීමයි. සංචාරක කර්මාන්තය තවත් වෙළෙඳ පොළ ප්‍රවේශයක් වශයෙන් වැදගත් වෙනවා. අපි මේ වන විටත් එය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් බොහෝ දේ සිදුකළ යුතුව තිබෙනවා. අපිට වාසිදායක වන ලක්ෂණයක් නම් අපේ රට ඉන්දියාව සහ චීනය යන ලෝකයේ විශාලතම සංචාරක වෙළඳ පොළ ද්විත්වයට ආසන්නයේ පිහිටා තිබීමයි.
අද වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති තොරතුරු තාක්ෂණය සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගැනීම වැදගත් ප්‍රවණතාවයක්. බොහෝ විට සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවර්ධනයන්, වෙළඳ ප්‍රචාරණය ආදිය වැඩිමනක් මුඬිත මාධ්‍ය තුලින් ලබා දෙනවාට වඩා ඩිජිටල් තාක්ෂණය ආධාර කරගෙන සිදුවෙනවා. අපි ඒ ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි.
මීළඟට වැදගත් අංශය නම් නිෂ්පාදනයි. නිෂ්පාදන කටයුතු තව තවත් වැඩිකිරීම සහ නිෂ්පාදන නව්‍යකරණයට ලක්කිරීම ද වැදගත් වෙනවා. නිෂ්පාදන අංශය ගත්විට අපට ඇති ගැටළුවක් තමයි ශ්‍රමය සපයා ගැනීමේ අපහසුතාව. බොහෝ පෞද්ගලික කර්මාන්ත හිමියන් මේ ගැටළුවට මුහුණ දෙනවා. ඊට විසඳුම් වශයෙන් විකල්ප දෙකක් අප සතු වෙනවා. පළමුවැන්න තමයි ගෙවන වැටුප වැඩිකිරීම. ඒ සදහා අපගේ කර්මාන්ත වැඩි වැඩියෙන් තරඟකාරී විය යුතු වෙනවා. තරඟකාරි නිෂ්පාදන ඉදිරිපත් කිරීමට වගේම ඵලදායිතාවත් වැඩිකළ යුතු වෙනවා.
දෙවැන්න, එනම් ඉතාම වැදගත් විසඳුම තමයි කර්මාන්තශාලා ක්‍රියාවලිය ස්වයං ක්‍රියාකාරී හෝ අර්ධ ස්වයං ක්‍රියාකාරී තත්වයට පත්කිරීම. එමගින් කිසිම අයුරකින් එහි සේවකයන් ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් නිෂ්පාදනවලට වටිනාකම් එකතුවීමක් සිදුවනවා. ශ්‍රී ලංකාව වැනි අඩු ජනගහනයක් සහිත කුඩා රටකට මෙය වඩාත් යෝග්‍ය ක්‍රියාදාමයක් බව කිව යුතුයි.
ඒ අනුව මෙය දැනුම පදනම් කරගත් ආර්ථිකයේ තොරතුරු තාක්ෂණය සහ නිෂ්පාදන ක්‍රියාවලිය එකට හමුවන සංධිස්ථානයක්. නිසැක වශයෙන්ම දැනුම් මූලික ආර්ථිකයක පදනම වෙන්නේ තොරතුරු තාක්ෂණයයි. ඒ සඳහා ඔබ සැම කටයුතු කරමින් සිටින බව මම දන්නවා.
අපනයන සංවර්ධන මණ්ඩලය පවසන ආකාරයට අපේ බලාපොරොත්තුව වන්නේ ඩොලර් බිලියන 5ක ආදායමක් ලබා ගැනීමයි. මෙය කියන තරම් ලේසි වැඩක් නොවෙයි. දැනට අපේ ආදායම වන්නේ ඩොලර් බිලියන 1ක් පමණයි. එයත් අපට ලබා ගත හැකි වූයේ වසර 25කට පමණ පසුවයි. ඉන්දියාවේ ආදායම බිලියන ගණනකින් අපට වඩා වැඩියි. ඔවුන් මීට පෙර ඒ ඉලක්කයට ළඟා වී තිබෙනවා. ඉන්දියාවේ අද ආදායම බිලියන 3ක් හෝ 4ක් පමණ වෙනවා. ඇත්තටම දේශීය වෙළෙඳපොළ වැදගත් වෙනවා. නමුත් ඒ විතරක් මදි.
අපට දැනුම් පදනම් කරගත් ආර්ථිකය වැදගත් වෙන්නේ ඊට අපගේ වැදගත්ම සම්පත වන මානව සම්පත යෙදවීමට හැකිවන නිසා. එනම් අපේ ජනතාවයි. ඒ සඳහා අපට අපගේ රටේ මූලෝපායික පිහිටීම, රටේ ජනතාව වගේම අධ්‍යාපන ක්‍රමය එදා සිට යොදා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා අපට ඇති අභියෝග මොනවාදැයි හඳුනාගැනීම අවශ්‍ය වෙනවා. මෙහිදී අපේ රටේ නිෂ්පාදකයින්, කර්මාන්ත දැරිගැන්වීම වගේම විදේශ අයෝජකයින් ලවා මෙහි කර්මාන්ත ආරම්භ කිරීමද සිදු වෙනවා. මේ කර්මාන්තයේදී යාම් ඊම් බහුලව සිදුවෙනවා. මේ රටේ කර්මාන්තකරුවන් වගේම පිටරටවල කර්මාන්තකරුවන් එකට එක්වී කටයුතු කරනවා. මේ ඔස්සේ අපේ රටේ ආදායම වගේම රැකියා ඉඩ ප්‍රස්ථා දෙගුණවීම නැත්නම් තෙගුණ වීම සිදුවෙනවා අපට දැකගත හැකියි.
මට මේ ළඟදී කියවන්නට ලැබුණා ”වට්ස් ඇප්” සමාගම ”;ෆේස් බුක්” සමාගම අතහැර ගිය බව. ”වට්ස්ඇප්” ඔවුන් ආරම්භ කළේ 2009දී. 2014 දී ෆේස්බුක් සමාගම විසින් එය ඩොලර් බිලියන 22කට මිළදි ගත්තා. බලන්න වසර 5කදී ”;වට්ස් ඇප්” සමාගම බිලියන 22ක් වටිනා තත්වයට පත් කර ගැනීමට එහි ආරම්භකයින්ට හැකිවුණා. ”ෆේස්බුක්”සමාගම 2004දී ආරම්භ වී 2012 වනවිට එහි වටිනාකම ඩොලර් බිලියන 200ක් දක්වා ඉහල නංවා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.
දැන් බලන්න ඉන්දියානු සමාගම් දියුණු වන ආකාරය. ලෝකයේ අනෙක් රටවල් ගත්තොත් චීනය දැන් මේ ක්ෂේත්‍රයට ඇතුළුවීමට බලාගෙන සිටින්නේ ඇයි? මේ අංශයෙන් ඉදිරියට යාමට ඇති අවකාශය වැඩි නිසා 2020, 2025 වන විට තත්වය තවත් වැඩි දියුණු වෙනවා. ලෝකයේ අනෙක් රටවල්වල අපේක්ෂාවන් හා බලනවිට අපගේ බිලියන 5 ඉලක්කය බොහෝම කුඩා ඉලක්කයක්. අපි කොහොමද කරන්නේ මේ දේ. අපිට එය කරන්න පුළුවන්ද. අපිට මෙය කළ හැකි බවට මට නම් විශ්වාසයි. අපිට බිලියන 5ක ඉලක්කයට යන්න පුළුවන්. නමුත් බොහෝමයක් බාධා, අභියෝග මැද. ඉන් එකක් තමයි බුද්ධි ගලනය. ඒ වගේම සංස්ථාපිත බදු අයකිරීම. ඒ හැමටම වඩා බරපතලම ගැටළුව නම් ශ්‍රම බලකායයි. අඩු තරමින් කර්මාන්තයක ආරම්භක ශ්‍රමයවත් ශ්‍රී ලාංකිකයින්ගෙන් සැපයිය යුතුයි. පිටරට හෝ දේශීය ව්‍යවසායකයින් මෙහි කර්මාන්ත ආරම්භ කරන විට ඔවුන් බලන්නේ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවෙන් ලබාගැනීමටයි. ඔවුන් ශ්‍රමිකයින් පිටරටවලින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නැහැ. ඉහල නිලතලවලට විදේශිකයින් අවශ්‍ය වුවත්, මූලික වශයෙන් අපේ රටේ ශ්‍රමිකයින් අපට අවශ්‍ය වෙනවා.
අපි මුල්වරට ඇඟලූම් කර්මාන්ත ආරම්භ කරනවිට, මූලික මට්ටමේ සේවයකරන්න ශ්‍රී ලාංකිකයින් අපට සිටියා. ඔවුන් ඒ ඔස්සේ ඉහල නිලතලවලට පසුව උසස්වීම් ලැබුවා. ඇඟලූම් කර්මාන්තය තොරතුරු තාක්ෂණ අංශයට වඩා වසර දහයක් පිටුපසින් සිටින්නේ. අපිට ජීඑස්පි ප්ලස් සහනය ලැබුණු පසු ඇඟලූම් කර්මාන්තය කඩිනමින් ව්‍යාප්ත වුණා.අප රජයේ, අධ්‍යාපන සහ මුදල් අමාත්‍යවරු දෙපොළ ඒකාබද්ධව පාසල් සිසුන් වෙත අයිපෑඩ් යන්ත්‍ර ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය ඉතා ප්‍රබල සාධකයක් වනු ඇති බව මා විශ්වාස කරනවා. මේ සඳහා ඉන්දියානු සහ තවත් සමාගම් කිහිපයක් අප සමග කටයුතු කරනවා.
අනෙක් අතට කියවීමේ කඳවුරු ඇති කිරීමත් මේ ඉලක්ක සපුරා ගැනීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පාසල් සිසුන්ට වගේම පාසල් හැරගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මේ කඳවුරු ඇතිකිරීම හරහා කියවීමේ රුචිය වගේම දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා. පුහුණුව අත්‍යාවශයෙන්ම දියුණු කළ යුතු අනෙක් සාධකයයි. තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණුව ලබා දෙන රාජ්‍ය නොවන ආයතන අපි දිරිමත් කළයුතු වෙනවා. තොරතුරු තාක්ෂණ පුහුණු ආයතන ඇතැම් ඒවා ලාභ උපයන ආයතනයි. ඒත් මාලබේ තිබෙන තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය ලාභ උපයන ආයතනයක් නොවෙයි. එවැනි ආයතනවලට අපි තව තවත් සහාය ලබාදිය යුතුයි. කෙසේ නමුත් පුහුණුව ලබාදීමේ සැලසුමක් තිබිය යුතුයි.
ආරම්භක මට්ටමේ තාක්ෂණික පුහුණුවකට වඩා ඉංජිනේරු වැනි ඉහල මට්ටමේ තාක්ෂණික වෘත්තිකයින් මේ රටට බිහි කිරීම ඔවුන්ගේ අරමුණ විය යුතුයි. ඔවුන්ට හොඳ වෙළෙඳ පොළක් තිබෙනවා. එවන් පාඨමාලා හැදැරීමට හැකිවන අයුරින් මුල්‍ය පහසුකම් සැපයීම අපගේ වගකීමක් වෙනවා. ඔවුනට ණය පහසුකම් ලබා දී උපාධිය ලබාගත්තායින් පසුව නැවත ඒවා අයකර ගැනීමේ ක්‍රම ඇති කරන්න අපිට පුළුවන්. ඒ අතින් බලන කල තවත් වැදගත් ක්ෂේත්‍රයක් නම් කෘෂි අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ වැටුප්, අයකරගන්නා බදු මුදල්, වාහන පහසුකම් ආදිය පිළිබඳව සලකා බැලීමයි. මොකද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුහුණුවක් ලබාදීම යනු, වෙනත් රටකට පුහුණුවක් ලබා දුන්නා හා සමානයි. එසේනම් එවැනි පුහුණුවක් ලැබූ අයගේ සේවය මේ රට වෙත ලබා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව සලකා බැලිය යුතුයි. බදු අය කිරීම ආදිය පිළිබඳව නැවත සොයා බැලීමක් කිරීම අවශ්‍ය වෙනවා. අපි දේශීය ආදායම් බදු පනතට අලූතින් පනතක් ගෙන ආවා. ඇතැම් අය කියනවා ඇතැම් කර්මාන්ත සම්බන්ධයෙන් එය ප්‍රමාණවත් නොවන බව. දැනුම ආශ්‍රිත කර්මාන්තවල දී, එනම් විශාල ප්‍රාග්ධනයක් යොදා නොගන්නා කර්මාන්ත ආශ්‍රිතව මෙය ප්‍රමාණවත් නොවන බව පැවසෙනවා. අපි බදු පනත ගෙන ආවේ ප්‍රාග්ධන ආයෝජන සම්බන්ධයෙන්. එවිට ගැටලූව මතු වන්නේ අනෙක් අංශ ආශ්‍රිතවයි. අපි නැවත මේ ගැන විමසා බැලීමක් සිදු කරනවා. අපි මේ ක්ෂේත්‍රයේ දේශීය මෙන්ම විදේශීය ආයෝජන දිරිමත් කිරීමට පියවර ගන්නවා.
පහසුකම් සැලසීමත් මේ අංශයේ දී වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම යටිතල පහසුකම් සැපයීම දැඩි අවශ්‍යතාවයක්. පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශයත් මේ සදහා කටයුතු කරනවා. කොළඹමේ සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තවත් එක් මධ්‍යස්ථානයක් මහනුවරත්, අනෙක ගාල්ල, එනම් ගාල්ල – මාතර සීමාව තුළ පිහිටුවීමට දැනටමත් සුදුසු ඉඩම් හඳුනාගෙන තිබෙනවා. තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන එසේ ඉදිවන විට ගාල්ල – මාතර නගරවල නිශ්පාදන සහ සැපයුම් සේවා කර්මාන්ත ඉදිකිරීමට පියවර ගන්නවා. මෙමගින් ප්‍රවාහන සහ සැපයුම් ක්‍රියාවලිය ඉතාම පහසුවනු ඇති.
මේ සියලූම ව්‍යාපෘති රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය මත සිදුවන ඒවායි. අපගේ ඉලක්කය වන්නේ පූර්ණ වශයෙන්ම දැනුම් මූලික ආර්ථිකයක් බිහි කිරීමයි. එහිදී ශ්‍රමිකයින් වන්නේත්, ප්‍රතිලාභීන් වන්නේත් ශ්‍රී ලාංකිකයින්ය. අප අපනයන මණ්ඩලය වෙත මිලියන 300 ක් ලබාදී තිබෙනවා. ඔබගේ කාර්යභාරය වන්නේ තව තවත් ඉලක්ක වෙත ගමන් කොට ඒවායින්ජයග්‍රහණ ලබා ගැනීමයි. ලබන වසර සඳහා මා ඔබට තවත් මුදල් ලබාදීමට පියවර ගන්නවා. ඔබගේ අපේක්ෂාව විය යුත්තේ තවත් ඉදිරියට යාමයි. එහිදි ආණ්ඩුව ඔබ සමග සිටින බව කිව යුතුයි. ඔබ අභියෝගය භාරගත යුතුයි. අපේ ඇගලූම් කර්මාන්තය එදා ඒ අභියෝගය භාර ගත්තා. අද ඔවුන් ලෝකයේ නමක් දිනා සිටිනවා. අපේ රටේ ඇතැම් හෝටල් ලෝකයේ පිළිගත් මට්ටමට පැමිණ තිබෙනවා. හෝටල්, ඇගලූම් කර්මාන්ත ආදිය ලෝකයේ පිළිගත් මට්ටමට පැමිණියත් ශ්‍රී ලංකාව තවමත් ඒ තත්ත්වයට පැමිණ නැති බව ඇතැම් අය කියනවා. ශ්‍රී ලංකාව ඒ තත්ත්වයට පත් විය යුතුයි. අපේ රටේ පරිසරය, පහසුකම්, ජීවන තත්ත්වය පිළිගත් මට්ටමට ගත යුතුයි. ඒ අභියෝගය භාරගෙන රටක් විදිහට ලෝකයේ නමක් දිනාගන්න ඔබට පුළුවන්ද? ඔබගේ කර්මාන්තයේ අරමුණ විය යුත්තේ තොරතුරු තාක්‍ෂණය, දැනුම් ආර්ථිකය පදනම් කරගත් කර්මාන්තයක් බවට පත්වීමයි. අපි මීළඟ මාස 18 තුළ අපගේ තොරතුරු තාක්‍ෂණ සහ දැනුම මූලික ආර්ථිකය ඉලක්ක කරගෙන අපගේ කටයුතු අලූත් කිරීමට පියවර ගන්නවා. එහිදී ඔබගේ උපරිම දායකත්වය ලබාගැනීමට අපේක්‍ෂා කරනවා. “