fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අදයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 09:23

බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර උළෙල අදයි

බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාතේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් වසරක් පාසා පවත්වනු ලබන ක‍්‍රීඩා උපහාර උළෙල මෙවරත් පළාත් පාලන, පළාත් සභා හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 08 ) දින අවිස්සාවේල්ල , කොස්ගම ”ලැවෙන්රෝ ගාර්ඞ්න් ” හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වේ.

මෙවර උපහාර උළෙල 2016 සහ 2017 වර්ෂයන් දෙකම සඳහා පැවැත්වෙන අතර එහිදී එම වර්ෂවල ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රහණය කරන ලද ක‍්‍රිඩක, ක‍්‍රීඩිකාවන්ට මෙන්ම බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාත්‍යන්තර ජයග‍්‍රහණ ලැබූ අයට ද උපහාර පිදෙනු ඇත.

තවද, මෙම උළෙලේදී තෝරාගත් පුහුණුකරුවන් 20 දෙනෙකුට මුල්‍යමය ත්‍යාගයන් ද තවත් පුහුණුකරුවන් 30 දෙනෙකුට ද්‍රව්‍යමය ත්‍යාගයන් ද පිරිනැමීමට කටයුතු කෙරේ. මෙහිදී ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් තම ක‍්‍රීඩා දිවියේ එක් වරක් පමණක් ලබා ගත හැකි ත්‍යාගය වර්ෂ දෙක සඳහා මුල්‍යමය වශයෙන් එක් අයෙකුට රු.100,000 බැගින් ලබාදීමට ද කටයුතු යොදා ඇත.

බස්නාහිර පළාත් ක‍්‍රීඩා උපහාර ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා උදාර සේවාවක් ඉටු කරන ලද 2017.12.31 දක්වා වූ කාලය තුළ පළාත් රාජ්‍ය සේවයේ සිට විශ‍්‍රාමලත් නිලධාරීන් ඇගයීමට ද කටයුතු කෙරේ. බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් 2016 සහ 2017 වසර දෙක සඳහා ලබාදීමට නියමිත මුදල් ත්‍යාග වෙනුවෙන් රුපියල් මිලියන 25 කට ආසන්න මුදලක් වැය කෙරෙනු ඇත.

තවද, පළාත් ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ විශේෂ ඉල්ලීමක් පරිදි 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟ ඉසව්ව සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් සහභාගීවී ලෝකඩ පදක්කම් දිනා ගත් ක‍්‍රිඩක, ක‍්‍රීඩිකාවන් දෙපළ විශේෂ ඇගයීමකට ලක් කරමින් ඔවුන් වෙත රු.100,000 බැගින් මුල්‍යමය ත්‍යාග පිරි නැමීම ද මෙම උළෙලේ සුවිශේෂි අංගයකි.

මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, බස්නාහිර පළාත් ක‍්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරු ඇතුළු බස්නාහිර පළාත් අමාත්‍යවරුන් සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම් ද සහභාගීවීමට නියමිතය.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2018 09:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්