ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අත්හිටුවා නිසිබලධාරියෙකු යටතට පරිපාලනය පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සාකච්ඡාවක් සදහා අද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
පසුගිය මස 31 වනදා පැවැත්වීමට නියමිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් කල් දැමීම සිදු වුණා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත් කිරීමටයි ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පරිපාලන කටයුතු සිදු කිරීම සදහා බලධාරියා ලෙස නම් කිරීමටත් කටයුතු කළා.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ මෙම නිලධාරීන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගොස් තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ෂේෂාක් මනෝහරන් මහතා සමග ඔවුන් ඩුබායි හි පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේදී මෙම සාකච්ඡාව පවත්වනු ඇති. එහිදී අල්ජසීරා නාලිකාව පසුගියදා වාර්තා කළ මුදලට තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය පවසනවා. එමෙන්ම ඉදිරි සංවර්ධන කටයුතු ද මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට යොමු කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනවා.