අද ලෝක පරිසර දිනයයි.ඒ නිසා ම මේ දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් පිළිබඳව කිසිදු දිනෙක නොකී කතාවක් මෙසේ අකුරු කරන්නට සිත් විය.නකල්ස් සංරක්ෂණ වනය පිලිබඳ දැන් නැවතත් විවිධ කතා බහ කරළියට විත් තිබේ.මේ නිසාම නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් වීම පිළිබඳ මෙතෙක් නොකියූ කතාවක් හෙලිදරව් කිරීම සුදුසු යැයි සිතීමි.මේ කතාව දක්වන්නේ මේ සියලු දේ පසුපස සිට සහ රට පිලිබඳව දුර දිග සිතා කටයුතු කළ කිහිප දෙනෙකුගේ නොදුටු මෙහෙවර ඇගයීමට මෙන්ම, තවත් අයෙකුට මෙහි යම් වැදගත් කමක් ඇතැයි සිතන නිසාවෙනි.
නකල්ස් වනාන්තරය ආසන්නයේ අනවසර හෝටල් ගොඩනැගිල්ලක් ඉදි වීම ආරම්හ වන්නේ 1997 වසරේදීය.මේ කටයුත්තට එරෙහි නීතිමය කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන ලේඛන සොයා මා වෙහෙසුනි.එහිදී ඉතාම වටිනා ලේඛනයක් වන නකල්ස් රක්ෂිත වනය ප්‍රකාශයට පත්කල නියෝගය පළ වූ ගැසට් පත්‍රය සොයා ගැනීම මාගේ අරමුණක් විය. මේ අනවසර ඉදි කිරීම පිළිබඳ හෙළිදරව්වක් කිරීමට කරුණු සොයමින් සිටි, එවකට ලක්බිම පුවත් පතේ පරිසර විශේෂාංග ලිපි ලියූ ක්රිෂ්ණ විජේබණ්ඩාර මහතා ද මා ඇමතූ අතර, එම ලේඛනය ද සොයාගෙන අංග සම්පූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අප දෙදෙනාම එකඟ වුණි. මා නකල්ස් පිලිබඳව අසා තිබූ මුල් කාලයේ පටන් මේ ප්‍රදේශය හඳුන්වා දී තිබුණේ නකල්ස් රක්ෂිත වනාන්තරය (Knuckles Reservered Forest / Knuckles Forest Reserve) ලෙසය.1980 දශකය මුල් භාගයේ තිබූ වැඩමුළුවකදී පවා මේ ප්‍රදේශය හැඳින්වූයේ නකල්ස් රක්ෂිත වනාන්තරය ලෙසය.
නමුත්, මෙතරම් ප්‍රසිද්ධ නකල්ස් රක්ෂිත වනාන්තරය ප්‍රකාශයට පත් කළ නියෝගය 1907 වන ආඥා පනත යටතේ ප්‍රකාශිත නියෝග අතර නොතිබීම මට ප්‍රහේලිකාවක් විය.නමුත්, දැනටද පවතින ඇතැම් රක්ෂිත වනාන්තර 1885 පනවනු ලැබූ කැලෑ ආඥා පනත යටතේ ආරක්ෂාව ලබා තිබෙන නිසා මේ මුල් අවස්ථාවේ කලින් ආඥා පනත යටතේ නියෝග සියල්ලම සොයා බැලුවද මේ නියෝගය ඒවා අතරද නොවීය.1992 හදිසි නීතිය යටතේ වනාන්තර ආරක්ෂා කිරීමේ නියෝගවල රක්ෂිත වනයන් සහ ඒවා ප්‍රකාශයට පත් කළ නියෝග සහිත සියලු ගැසට් පත්‍රවල අංක සහ ප්‍රකාශිත දිනය ද සඳහන් වූ නිසා මේ නියෝගවල පිහිට පැතූ මා දුටුවේ නකල්ස් මේ ලේඛනයේ පවා නැති බවකි.1990 National Conservation Review (NCR)ලේඛනයේ ඇමුණුමක් ලෙසද සියලු රක්ෂිත වනාන්තරවල මෙන්ම ඒවා ප්‍රකාශයට පත්කළ නියෝග පළ වූ ගැසට් පත්‍රවල දින සහ අංක තිබෙන බැවින් එම ලේඛනය පිරික්සුවද එහිද එම තොරතුරු නොතිබිණ.මේ නිසා මට හැඟුනේ “නකල්ස් රක්ෂිත වනය“ කියා නීතියෙන් ප්‍රකාශිත ප්‍රදේශයක් සත්‍ය ලෙස නැතිද යන්නයි.
වන ආඥා පනතේ නීතිමය ලේඛන සහ කරුණු සොයා ගැනීමට මා සාමාන්‍යයෙන් අමතන, එවකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ආනන්ද විජේසූරිය මහතාගෙන් මේ ගැන විමසූ මට එම නියෝගය දින කිහිපයකින් ලබා දෙන බවට ඔහු පොරොන්දු වුවද ඔහුද අවසානයේ නිගමනය කළේ අපි සියල්ලන්ටම වැරදීමක් සිදුවී තිබෙන බව සහ එය ඉතා කඩිනමින් නිවැරදි කල යුත්තක් බවත්,එය එසේ නිවැරදි කරන තුරු මෙය අප දෙදෙනා අතර රහසක්ව තිබිය යුතු බවත් ය.
නමුත් මේ පිලිබඳ මම ක්රිෂ්ණ බණ්ඩාර මහතාට කියනවාද නැද්ද යන්න ගැටලුවක් නොවීය.ඒ, ඔහු යමක් මාධ්‍යයකින් හෙළිදරව් කර ලබන්නා වූ ප්‍රසිද්ධියට වඩා රට ගැන සිතා උපායමාර්ගික නිහැඬියාවක් අනුගමනය කරන බවට මා කෙරේ වූ විශ්වාසයයි.මේ නිසා මා මේ රහස ඔහු සමඟද බෙදාගත් අතර එය අපි රැක ගත්තෙමු. එතැන් සිට ගෙවුණු තෙවසර තුළ අප කිසිවෙකුත් අතින් මේ පිළිබඳ කිසිදු සඳහනක් නොවීය.
මේ අතරතුර විජේසූරිය මහතා නකල්ස් රක්ෂිත වනයක් නොව, 1995 අංක 23 දරණ සංශෝධිත පනතින් හඳුන්වා දුන් සංරක්ෂිත වනාන්තරයක් බවට නකල්ස් වනාන්තරය වඩාත් දැඩි ආරක්ෂිත තත්වයකින් රැක ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි අතර 2000 වසරේ මාර්තු මාසයේදී අපට ඉතා නරක ආරංචියක් අසන්නට ලැබිනි.එනම්,ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පළාත් සභා වෙනුවට ඒවාට වඩා ඉතා පුළුල් බලතල සහිත කලාප සභා නම් නව ව්‍යුහයන් හඳුන්වා දීමට යන බවකි.(මේ ව්‍යවස්ථා සංශෝධනය 2000 අගෝස්තු මස මුළදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණ).මේ සංශෝධනය සම්මත වුවහොත්,ඒ වනවිට ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශ වී නැති සියලු රජයේ ඉඩම් පිළිබඳ බලතල මේ නව සභා වලට නතු වන බවත් කියැවිණ.එසේ වුවහොත් එය නකල්ස් වනාන්තරයේ විනාශය බව අමුතුවෙන් කිව යුතු නොවේ.
මේ සමගින් යුහුසුළුව ක්‍රියාත්මක වූ වන සංරක්ෂකතුමා ඇතුළු දෑ හිතකාමී නිලධාරීන් පිරිසක්, ඒ වන විට රජයට අයත් බව නිසැකවම දන්නා රජයේ ඉඩම් සියල්ල ආවරණය වන සේ මායිම් සකසා ඒ අනුව සකස් කළ නියෝගයක් අමාත්‍ය තුමාගේ අත්සනින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්ෂිත වනාන්තරය ලෙස නකල්ස් සංරක්ෂණ වනය ප්‍රකාශයට පත් කරමින් 2000.05.10 දින ප්‍රකාශිත ගැසට් පත්‍රයේ පළ විය.මේ කඩිනම් දූරදර්ශී සහ දෑහිතකාමී තීරණය ක්‍රියාවට නැංවීමේලා විජේසූරිය මහතා මෙන්ම පසුව වන සංරක්ෂක ජනරාල් බවට පත් වූ කේ.පී.ආරියදාස මහතාද විශාල කාර්යභාරයක් ඉටු කළ අයෙකි.
එමෙන්ම,ඉතාමත් අගනා සහ ආන්දෝලනාත්මක බවට නිසැක මාධ්‍ය හෙලිදරව්වක් නොකොට,එය අප සමගින් විශ්වාසයෙන් රැක ගත් ක්‍රිෂ්ණා විජේබණ්ඩාර මහතාවද කෘතඥතා පූර්වකව සිහි කරමි.
2000 දී නකල්ස් සංරක්ෂිත වනාන්තරය ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් අවට ඉඩම් පවරා නොගත්තේ මන් දැයි වර්තමානයේ ඇතමුන් නගන පැන වලටද මේ අතීත ආවර්ජනාව මගින් පෙන්වාදුන් පරිදි හේතුපාදක වූ කාරණා ඇසුරින් පිළිතුරු ලැබෙන අතරම රට වෙනුවෙන් කැපවී කටයුතු කළ සහ අනාවරණයක් හෝ ලැබිය යුතු ප්‍රශංසාව නොලද ඉහත නම් සඳහන් සියල්ලන්ටම මෙය උපහාරයක් කරමි.
අවසන, මෙහි යමකු අඩුවක් දකින්නට පුලුවන. ඒ මේ සියල්ල තුළ මාගේ භූමිකාව කුමක්ද යන්නය.ඒ ගැන කිසිවක් සඳහන් නොකර සිටීමට මට ඔබ සියල්ලන්ගෙන් ම අවසර පතමි.
පරිසරවේදී , නීතිඥ ,ජගත් ගුනවර්ධන
…. මතු සම්බන්ධයි ….