ජීවිතයේ සාර්ථක බව යනු අසාර්ථක වීම පමණක් ම නොවේ. එන් මුලිකව ම අදහස් වන්නේ ජිවිතයේ අරමුණු කරා ළගාවීම හා ජය ලැබීම යි. සාර්ථකත්වය සඳහා බලපාන ඉතා වැදගත් ම අංගය වන්නේ කාලය කළමනාකරණය කර ගනිම යි. වයස අවුරුදු 20ක වන ඔබ, වයස අවුරුදු 40 ක වන ජීවිතය ගැන සිතීම පවා අනවශ්‍ය යැයි සිතන්නේ එම කාලය ඉතා දුරස්ථ තත්ත්වයක් යැයි සිතා ය. එමෙන්ම අද, වයස අවුරුදු 40ට ළඟා වී ඇති අය සිතන්නේ තමා ඉක්මනින් තරුණකමින් අෑත් වන බව සහ පසුගිය වසර 20 තුළ තමාගේ ජීවිතයේ නිසි ප්රතිලාභ අත් කරගත්තේ ද යන වගයි. මේ ලෙසටම ජීවිතයේ 60 වැනි වයස් සීමාවට ළඟා වන බොහෝ දෙනෙකු ඉතා කනස්සල්ලෙන් ආපසු හැරී බලන්නේ තමන් පසුගිය කාලය නිසි ලෙස ප්‍රයෝජන නොගෙන අපතේ හැර ඇති බව වැටහීම හේතුවෙනි.
එම කාලය නැවත ලබා ගත හැකි නම් …
ලෙසට සිතන මුත් කළහැකි දෙයක් නැත.
තරුණ වයසේ දී අප කළ යුතු ඉතා වැදගත් දෙයක් වන්නේ කාලය අපතේ යාම වළක්වා ගනිමින් ජීවිතයේ ඉලක්ක කරා යාම සඳහා නොපමාව පියවර ගැනීමයි. නමුත් ඔබ මෙතෙක් ජීවිතයේ ඉලක්ක ගැන සැලකිල්ලක් දක්වා නොමැති නම්, මේ ගැන සිතන විට එය ඉතා අපහසු එසේ නැත්නම් එතරම් අවශ්‍ය දෙයක් නොවන ලෙසට දැකිය හැකිය. එසේ සිතන්නේ බොහෝ දෙනෙකු තුළ ඉලක්ක ඇතුව කටයුතු කළ යුතු ආකාරය හෝ එවැනි දෙයකට යොමු විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු නොදන්නා නිසාය. නමුත් නිවැරදි කරුණු තොරාගෙන එය එසේ කළ යුතු ඇයි කියා වටහා ගැනීමෙන් පසු ඔබ තුළ පවතින අයහපත් සිතුවිලි අනිවාර්යෙන්ම පහව යනු අත.
ඔබගේ අරමුණු හා ඉලක්ක සැලකිල්ලට ගැනීමේ දී ඒවා ඉටු කරගැනීම සඳහා ඔබගේ කාලයෙන් යම් ප්‍රමාණයක් වැය කළ යුතු බවට වටහා ගැනීම අපහසු නොවේ. නිසි අන්දමට ඉලක්ක සපුරා ගැනීම සඳහා කාලය ආයෝජනය කිරීම තුළින් වඩාත් ස්ථිර ඵලදායි තත්ත්ව ළඟා කරගත හැකි වේ. නමුත් කාලය ආයෝජනය කිරීම ඔබට එතරම් හුරු නොවන දෙයක් ලෙසට හැගෙනු ඇත . එයට හේතු රැසකි.පාසල් දිවිය තුළ එදිනෙදා කටයුතු සිදු වන්නේ කාලසටහනකට මෙන් ඒකාකාරිව ය. ඉන් පසු රැකියාවක නිරත වීමත් සමග නියමිත පැය ගණන වැය වන්නේ නිරායාසයෙනි. අාහාර ගැනීමට හා නිදා ගැනීමට ගතවන කාලය ද මේ ආකාරයට ම වේ. මේ අනුව ඔබට අවශ්‍ය අන්දමට කළමනාකරණය කර ගැනීමට ඉතිරි වන්නේ දිනකට පැය 5ක් හෝ 6ක් වැනි කෙටි කාල සිමාවක් පමණි. එය ඔබට අයිති කලයයි. ඒ අනුව සතියකට පැය 35ක් මාසයක් තුළ පැය 140ක් වර්ෂයක් තුළ පැය 1680ක් ලෙසට සැලකිය යුතු කාලයක් ඔබගේ කාලය ලෙසට කළමනාකරණය කර ගැනීමේ වගකීම ඔබ සතු වේ. ඔබගේ කාලය ද ඔබ සතු මුදල් මෙන් වැය කරන ආකාරය පිළිබදව තීරණ ගැනීමට අන් අයට ඉඩ නොදිය යුතුය. දිනකට එක පැයක් එනම් විනාඩි 60ක් ඔබ යම් විෂයක් හෝ නිපුණතාවක් හැදෑරීම සඳහා නොකඩවා වැය කරයි නම්, වසර තුනකට වඩා අඩු කාලයක දී ඔබට එහි විශේෂඥයකු විය හැකි බව මානුෂික හැකියා හා ස්වයං හැකියා සංවර්ධනය පිළිබඳ විශේෂඥ අර්ල් නයිටිංගේල් ප්‍රකාශ කරයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/06/st.jpg”]
කාල සටහනකට අනුව වැඩකලත් අනපේක්ෂිත සිදුවීම් පිළිබඳ කටයුතු කිරීමට ද කාලයක් මිඩංගු වන බව සත්‍යකි. නමුත් සමස්තය ලෙස අප කාලය කළමනකරණය කරමින් කටයුතු සිදුකිරීම වටී. එහිදී අපට දළ වශයෙන් මෙසේ කාලය කළමනාකරණය කරගත හැකි වේ.
දීර්ඝ කාලීන ඉලක්ක – (අවුරුදු 03-05)
මධ්‍ය කාලීන ඉලක්ක – (අවුරුදු 01 – 06 තුළ)
කෙටි කාලීන ඉලක්ක -( මාස 03 – 12 තුළ)
අද කිරීමට අපේක්ෂිත කාර්ය
වශයෙන් කාලය බෙදා ගැනීම අපට අපහසු නැත. සමාජ තත්ත්වය, වයස, වෘත්තීය කුමක් වුවත් කාලය කළමනාකරණය කරගැනීම ඉතා වැදගත් කටයුත්තක් වනු ඇත.සෑම දෙයක් මෙන්ම කාලයත් නිසි පරිදි කළමනාකරණය කරගැනීම ඉතා වැදගත් බව ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් අදට වසර දෙදහසකට පෙර පැවසුවේ එහි වටිනාකම එම කාලයේ දී ද විශේෂ අවශ්‍යතාවක් ලෙසට හඳුනාගෙන තිබු බැවිනි. කාර්යබහුල පුද්ගලයන්ගේ මානසික ආතතිය දුරු කරගැනීම සඳහා කාල කළමනාකරණය මහගු පිටුවහලකි. අද දවස අවසානයේ දී හෙට දවස සැලසුම් කරන්නේ නම් එය මහඟු අත්වැලක් වනු ඇත.
මේ අනුව බැලීමේදී කාල කළමනාකරණය විශේෂ දෙයක් නොව සාමාන්‍ය දැනුම ක්‍රියාවට නැංවීමකි. අද කළ යුතු දේ හෙටට කල් නොදමා කළයුතු සියල්ල වැදගත් වන අන්දමට ලැයිස්තු ගත කර, ඒ සඳහා කාලය වෙන් කරගෙන කටයුතු කිරීමෙන් ස්වයං හික්මවීම වර්ධනය කරගත හැකි වන අතරම ඔබ ජයග්‍රාහී පුද්ගලයකු වන බව නම් නොඅනුමාන ය.
කාල කළමනාකරණයේ දී මේ ගැනත් සිතන්න….
නිදහසේ සිතීමට – එය ඔබට ශක්තියක් වේවි
ක්‍රීඩා කිරීමට – නිරෝගී බවේ රහස එයයි
කියවීමට – බුද්ධිය වර්ධනය කරයි
ආගමික කටයුතුවලට – අධ්‍යාත්මික ගුණ වගාව සඳහා
ආදරය පෙන්වීමට, ලැබීමට – ජිවිතයට සුවිශේෂී වරප්රසාදයකි
මිතුරන් හමුවීමට – ජිවිතයේ සතුට සඳහා
සිනාසීමට – නිරෝගිව සිටීමට හොදම ඹෟෂධයකි
පරිත්‍යාග කිරීමට – අන් අය ගැන සිතන්නට
සේවය කිරීමට – සාර්ථක බවේ සංඛේතය
අන් අය වෙනුවෙන් කැපවීමට – ලැබිය හැකි උසස්ම සතුට
-ශානිකා රත්නායක-