fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදේශ මුදල් වැඩි වී ඇති බව මුදල් ඇමති කියයි

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 17:21

විදේශ මුදල් වැඩි වී ඇති බව මුදල් ඇමති කියයි

සෘජු විදේශ ආයෝජන ඉහළ ගොස් රට තුළට එන විදේශ මුදල් ප්‍රමාණය ද වැඩි වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය යන ආර්ථික වැඩසටහන් පිළිබඳ කොළඹදී පැවති ව්‍යාපාරික සමුළුවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පෞද්ගලික ආයෝජන වර්ධනය එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ මූලික ඉලක්කයයි. ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කිරීම ගම්පෙරළිය ආර්ථික වැඩසටහන යටතේ සිදු කෙරෙනවා. රජයේ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළට අනුව ඉදිරියේදී ග්‍රාමීය වැව් විසිදෙදහසක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. හරිත උද්‍යාන වැඩපිළිවෙළ ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නක්. ග්‍රාමීය මාර්ග, ග්‍රාමීය වෙළෙඳපොල මෙන්ම පොදු කටයුතු සංවර්ධනය වෙනුවෙන් රජය රුපියල් බිලියන අසූවක මුදල් ආයෝජනය කරනු ඇති. එමගින් ග්‍රාමීය ප්‍රදේශවලට අති විශාල මුදලක් සම්ප්‍රේෂණය වන බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. රට තුළ තිරසර සංවර්ධනයක් අත්පත්කර ගැනීමට එමගින් ලැබෙන්නේ ඉමහත් දායකත්වයක්. ඉදිරි මාස 24 තුළ රජයේ ප්‍රධානතම ග්‍රාමීය ආර්ථික වැඩපිළිවෙළ බවට ගම්පෙරළිය පත්වන බවද මංගල සමරවීර මහතා පෙන්වා දුන්නා.

පළමු ගම්පෙරළිය ප්‍රදර්ශනය අගෝස්තු මස 16 වන දින මොණරාගලදී පැවැත්වීමට නියමිතයි. ඉන් පසු අනුරාධපුරය සහ යාපනය ප්‍රදේශවල ද එම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. රජයේ රැකියා මත රැඳී සිටීමේ මානසිකත්වය වෙනස් කිරීමට මෙම ප්‍රදර්ශනවලින් අපේක්ෂා කෙරෙන බවද ඒ මහතා සදහන් කළා. ව්‍යාපාරික සහ නවෝත්පාදන කටයුතු වර්ධනය කර ගැනීමට ණය වැඩපිළිවෙළක් තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භ කෙරෙනු ඇති. එමගින් ඔවුන්ගේ ව්‍යාපාරික සංකල්ප වෙළෙඳපොල සමඟ බද්ධ කිරීම රජයේ අරමුණයි. රජය ගෙනයන ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස රටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය වාර්තාගත ලෙස පසුගිය වසරේදී ඉහළ ගියා. මේ වන විට ඇමෙරිකා ඩොලර් බිලියන එකයි දශම නවයක සෘජු විදේශ ආයෝජන අත්කර ගැනීමට රජය සමත්ව සිටිනවා. 2018 වසරේ පළමු කාර්තුව තුළ ඇතිවූ ශීඝ්‍ර ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස තවත් විදෙස් මුදල් රට තුළට ගලා ඒම සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ජී එස් පී ප්ලස් සහන වැඩපිළිවෙළ මෙන්ම රටවල් රැසක් සමග ඇතිකර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම් නිසා වත්මන් රජය යටතේ ආර්ථිකයේ දැවැන්ත පෙරළියක් සිදුවූ බව ද මංගල සමරවීර මහතා කියා සිටියා. රජයේ 2025 වසර වෙනුවෙන් සකස්කර ඇති උපාය මාර්ග වැඩපිළිවෙළ යටතේ අපනයනයට සහ සෘජු විදේශ ආයෝජන සදහා ඉහළ ප්‍රමුඛත්වයක් හිමි වන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2018 17:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්